දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා (River for Jaffna) “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “යාපනය – කිලිනොච්චි” ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ උතුරේ සිවිල් යුද්ධය අවසන් වී මේ වන විට වසර 15ක් ගත වී ඇති බවත්, දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ඉදිරියට ගෙන යා යුතු බවත්ය. ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කිරීම තම අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා එහි සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවද කියා සිටියේය.
යාපනය – කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය ආසියානු සංවර්ධන බැංකුවේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කෙරේ.
යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ශ්‍රී ලංකා රජය 2011 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහ ප්‍රංශ සංවර්ධන බැංකුවේ (AFD) ආධාර ඇතිව යාපනය-කිලිනොච්චි දිස්ත්‍රික් ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (JKWSSP) දියත් කරන ලදී.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පුද්ගලයන් 300,000 කට පිරිසිදු පානීය ජලය සැපයීම සහ 80,000 ක ජනතාවක් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමයි.
මෙහිදී මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීම සඳහා වන කම්හල ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් 2017 වසරේදී ගිවිසුමකට එළැඹෙන ලදී.මේ වන විට, උස් ජල ටැංකි විස්සක් (සංඛ්‍යා 20) ඉදිකිරීම, සම්ප්‍රේෂණ නළ මාර්ග කිලෝමීටර 186ක් සැපයීම හා එළීම මෙන්ම බෙදා හැරීමේ නල මාර්ග කිලෝමීටර් 382ක් සම්පූර්ණ කර ඇත.
මෙම ලවණ ඉවත් කිරීමේ කම්හල සඳහා කොන්ත්‍රාත්තුව 2021 වසරේ ජනවාරි මාසයේදී ප්රදානය කර තිබේ. ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 266ක් වන අතර යාපනය-කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය 2025 මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,
මෙම ජල පවිත්‍රාගාරය ලංකාවේ ප්‍රධාන ජල පවිත්‍රාගාරය ලෙස ආරම්භ කෙරෙනවා. මෙම පවිත්‍රාගාරය ඉදිකිරීම සඳහා අවශ්‍ය භූමිය ලබාදුන් මෙම ප්‍රදේශයේ ජනතාවට මම ස්තූතිවන්ත වෙනවා. මෙම ගම්මානයට ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් වෙනම ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එය ඉටුකරන ලෙස මම ආණ්ඩුකාරතුමියට උපදෙස් ලබා දෙනවා. මේ පවිත්‍රාගාරය ආරම්භ කිරීමත් සමඟ යාපනයේ පානීය ජල ගැටළුවට බොහෝ දුරට විසඳුම් ලැබෙනවා. ඉදිරියේ පුනරින් ප්‍රදේශයට ජලය ලැබෙන පාලිආරු ජලාශයේ කටයුතු ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම යාපනයට ගංගාවක් වැඩසටහන ආරම්භ කිරීමට ද මම තිරණය කර තිබෙනවා. මේ පවිත්‍රාගාරය සහ යාපනයට ගංගාවක් වැඩසටහන ක්‍රියාත්මක වූ විට යාපනයේ ජල ප්රශ්නය සම්පුර්ණයෙන් විසඳෙනවා. එවිට වඩමාරච්චි ප්‍රදේශය නැවත සශ්‍රික ප්‍රදේශයක් බවට පත් වෙනවා. ඒ වගේම මෙම පානීය ජලය සඳහා අප මුදල් ගෙවිය යුතුයි. සුර්ය බලශක්ති ව්‍යාපෘති මගින් එම පිරිවැය අඩුකර ගැනිමට අප සැලසුම් කර තිබෙනවා. මෙම ප්‍රදේශයට බිංදු ජල සම්පාදනය (Drip Irrigation) වැනි වාරිමාර්ග ක්‍රම ගෙනවිත් නවීන කෘෂිකර්මාන්තය ආරම්භ කිරීමටත් කටයුතු කරනවා. අපි ජලයට මුදල් ගෙවනවා නම් අප ලබා ගන්නා ජලයෙන් උපරිම ලාභය ලබා ගැනීමටත් කටයුතු කළයුතුයි. මෙම වැඩසටහන් හරහා අප තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කළයුතුයි.
ඒ වගේම ඉන්දියාව සමඟ එක්ව කංකසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව තිබෙනවා. සිමෙන්ති කර්මන්ත ශාලාව තිබු ස්ථානයේ ආයෝජන කලාපයක් ආරම්භ කරනවා. ඒ වගේම පලාලි දියුණු කළ විට එහි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ හැකියි. විශේෂයෙන් මෙම ප්‍රදේශය ආශ්‍රිතව සුළං බලශක්තිය සහ සූර්ය බලශක්තිය විශාල වශයෙන් නිපදවිය හැකි අතර එයින් තවත් ආදායම් ලබාගත හැකියි. ඒ අනුව ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කිරීමට නියමිතයි.
රජය යාපනය විශ්වවිද්‍යාල ඇති කිරීමට කටයුතු නොකරන්නේ මෙහි විශ්වවිද්‍යාල දෙක තුනක් ආරම්භ කිරීමට පළාත් සභාවට හැකියාව තිබෙන නිසයි.යුද්ධය අවසන් වී මේ වන විට වසර 20ක් පමණ ගතවි තිබෙනවා. දැන් අප සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ආරම්භ කළයුතුයි.