වත්මන් ආර්ථික අර්බුදය නිර්මාණයට හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර් ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජික සමන්ත කුමාරසිංහ, හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර යන අයද ඊට වගකිව යුතුව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ මහාචාර්ය මහීම් මෙන්ඩිස් සහ වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහත්වරුන් විසින් වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් පිළිබඳ සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කර තිබූ අයිතිවාසිකම් පෙත්සම් දෙකක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
මෙම තීන්දුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විජිත් මලල්ගොඩ සහ මෘර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා වෙනමම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 2 කල් ඉකුත් වීමෙන් පසුව ගොනු කොට ඇති බැවින් නිෂ්ප්‍රභ කරන බවය.
ඒ අනුව මෙම නඩුවට ගොනු කර ඇති වගඋත්තර කරුවන්ට රුපියල් 1.50,000ක නඩු ගාස්තුවක් වෙන ලෙස ද නියෝග කළේය.