‘ඇමති කිව්වා මං කළා’ යැයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියේ පළමු සැකකාර බාල ඖෂධ ගෙන්වු ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුුගේ නීතීඥ ජාලිය සමරසිංහ මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ ඊයේ (27) පැවසීය.
මෙම සිද්ධියට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඇති සම්බන්ධතාවය ඖෂධ ගෙන්වු සමාගමේ හිමිකරු රහස් පොලිසියට කීවත් ඔවුන් ඒ පිළිබඳ සටහන් කරගැනීම ප්රතික්ෂෙප කළ බව නීතීඥ ජාලිය සමරසිංහ මහතා කළ දැනුම් දීමක් සළකා බැලු මහෙස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුගෙන් ප්‍රශ්න කර බන්ධනාගාර තුළදී සවිස්තරාත්මක ප්‍රකාශයක් සටහන්කර ගැනීමට රහස් පොලිසියට නියම කළාය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කැඳවීම මත රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීම දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු දැක්වු කරුණු සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මින් ඉදිරියට මෙම සිද්ධියට අදාළව යම් පුද්ගලයකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදී සාමන්‍ය ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීම පිළිබඳව සැළකිලිමත් වන ලෙස රහස් පොලිසියට දැනම් දුන්නාය.
සිද්ධිය සම්බන්ධයෙන් පැය 05ක පමණ කාලයක් පුරා දෙපාර්ශවයේ නීතීඥවරු දැක්වු කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය සැකකකරුවන් ලබන වසරේ ජනවාරී මස 10 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කළ අතර සැකකරුවන්ට ඇප නියම කරන ලෙස ඔවුන්ගේ නීතීඥවරුන් කළ ඉල්ලීම් සම්බන්ධ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නාය.
පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්යක්ෂ ශාන්තිනී සොලමන් මහත්මිය, ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත නමැති මහත්ම මහත්මීන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර මෙම සිද්ධියේ දෙවැනි සැකකාර වෛද්‍ය සැපයුම් හිටපු අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ 80 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වෛද්‍ය වාර්තාවක්ද ගොනු කරමින් බන්ධනාගාර අධිකාරිවරයා විසින් දැනුම් දෙන ලදී.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී අනාවරණය වු කරුණු මත අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන පිටු 07කින් යුත් වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත මහතා සමඟ පෙනී සිටි උප පොලිස් පරීක්ෂක යාළේවත්ත මහතා අධිකරණයට අධිකරණයට ඉදිරිපත් කළේය.
රහස් පොලිසියය සමඟ පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින් එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට තවත් කැබිනට් සංදේශ තුනක් ඉදිරිපත් කොට ඇති බවත් එම සංදේශ 06 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගේ අවධානයට ලක් කර ඇති බවත් කියමින් කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය අදාළ සියළු අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඇමුණුම් හා තීරණ රහස් පොලිසියට බාර දීමට අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාට නියම කළාය.
‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු මහතාට අයත් සීදුවේ පිහිටි පරික්‍ෂාණාගාරය පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළ නියෝගයකට අනුව එම ස්ථානය පරීක්ෂා කිරීමට අධිකරණය නියම කර තිබුණත් පසුගිය කාලයේ තිබු තත්වයය අනුව එම ස්ථානය පරීක්ෂා කිරීමට නොහැකි වු බව දැනුම දෙමින් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීිමකට අනුමැතිය දුන් මහෙස්ත්‍රාත්වරිය අද (28) සිට ලබන 09 වැනිදා දක්වා කාලය තුළ අදාළ ස්ථානය යළි පරීක්ෂා කිරීමටද ඒ සඳහා අවශ්‍ය සහය ගැනීම සදහා සැකකරු එම ස්ථානයට ඉදිරිපත් කිරීමටද නියම කළාය.
රෝගීන්ට එන්නත් ගෙන ඒමට දුන් අවසරය ප්‍රයෝජනයට ගෙන සැකකරු ජලය පිරිසිදු කිරීමට ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් මෙරටට ආනයනය කර ඇතැයිද ඖෂධ නියමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙම භාන්ඩ සැකකරුට මුදාහැරීයේ කෙසේද යන්න හෙළි කර ගැනීම සදහා කරන විමර්ශනය සම්බන්ධයෙන් රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් ගැනීමටද අවසර දුන් නමුත් ඔහු මෙතෙක් ප්‍රකාශයක් දී නැතැයි කියමින් කළ ඉල්ලීමකට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය ලබන මස 08 වැනිදාට පෙර ඒ පිළිබඳ හෙළි කර ගැනීම සඳහා ප්‍රකාශයක් රහස් පොලිසියට දීමට රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට නියම කළාය.
ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී ගුද මාර්ගයේ, මහ බඩවැලේ, පියයුරු, පෙනහළු, ආමාශය ආශිත පිළිකා රෝගී්න් සඳහා මෙන්ම ඇසේ දෘෂ්ඨි විතානය පැහැදිලි කිරිම සඳහා භාවිතා කරන ඖෂධ මෙන්ම රුධිරය කැටි ගැසීමේ රෝගීන්ට දෙනු ලබන ඖෂධ ශ්‍රී ලංකාවට ගෙන්වීමට වෛද්‍ය සැපයුම් ඒකකය විසින් පළමු සැකකරුට ගැණුම් ඇණවුමක් නිකුත්කර ඇතැයි කී ලක්මිණී ගිරිහාගම මෙනවිය මෙම සිද්ධියේ 06 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා විසින් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ ජනරාල්වරයාට ලිපියක් නිකුත් කරමින් තොරාගත් සැපයුම්කරුවන්ට ගැණුම් ඇණවුම් නිකුත් කිරීමට කළ දැනුම් දීමෙන් පසු මෙම ව්‍යසනකාරී තත්වය උද්ගතව ඇතැයිද කීවාය.
ප්‍රශ්නගත ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළ ප්‍රසම්පාදන ක්රිියාවලියේ ඇගයුම් කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතාගෙන් ප්‍රකාශයක් ගත් බවත් ලේඛණ පරික්ෂා කිරීමට අවශ්‍ය බවට ඔහු කළ දැනුම්දීමකට අනුව එම ලේඛණ පරීක්ෂා කර බලා වැඩිදුර ප්‍රකාශයක් ගැනීමට නියමිතව සිටියදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අවසරය මත පෞද්ගලික සංචාරයක් සඳහා ඔහු විදේශගත වී ඇතැයි කී ලක්මිණී ගිරිහාගම මෙනවිය ඔහු යළි ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහෙස්ත්‍රාත්වරිය ඔහුට රටින් පිටවීම තහනම් කරමින් විදේශ ගමන් තහනමක් පනවා තිබුණා නේදැයි කළ විමසීමකට පිළිතුරු දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය ඒ වන විටත් ඔහු විදේශගත වී තිබුණේ යැයිද අදාළ ප්‍රසම්පාදන ක්රිියාවලියේ ඇගයුම් කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කළ වෛද්‍ය සුදර්ශන මහතාද ඊට පෙර විදේශගත වී ඇතැියි කීවාය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහෙස්ත්‍රාත්වරිය මෙම කටයුත්තට මැදිහත් වීමට අධිකරණයට අවශ්‍යතාවයක් නැතැයිද ඔහු යළි ගෙන්වා ගැනීමට ආයතන සංග්‍රහය යටතේ කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දෙන්නැයි ඔහු අවශ්‍ය පියවර නොගතහොත් ඒ අවස්ථවේදී අවශ්‍ය නියෝග දීමට හැකියාවක් ඇතැයි පෙන්වා දුන්නාය.
පළමු සැකකාර ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තාගේ ගිණුමට ලැබුණු රුපියල් ලක්ෂ 1444 මුදල වහාම යළි ලබාගැනීම සම්බන්ධයෙන් රහස් පොලිසියේ නීතීවීරෝධී වත්කම් විමර්ශන අංශය විසින් විමර්ශන ආරම්භ කර ඇතැයි කියමින් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමකට අනුව ලබන 09 වැනිදාට පෙර අදාළ එහි ප්රගතියය අධිකරණයට දැනුම් දීමට රහස් පොලිසියේ නීතීවීරෝධී වත්කම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නියම කළාය.
මෙම සිද්ධියට අදාළව ස්වේඡාවෙන් ප්‍රකාශයක් දීමට අවශ්‍ය බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 25 වැනිදා ඔහුගේ නීතීඥවරු මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුව රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කරගත්තේ යැයිද ප්‍රකාශ සටහන්ය කරගන්නා අතරතුර අමාත්‍ය මණ්ඩල සංදේශ පිළිබඳ ප්‍රශ්න කළ විට එම අමාත්‍ය මණ්ඩල සංදේශ ඔහු සතුව නොතිබුණේ යැයිද එහෙයින් ඔහුගේ ප්‍රකාශය සම්පුර්ණ කිරීමට නොහැකි වුයේ යැයිද කී ලක්මිණී ගිරිහාගම මෙනවිය අදාළ ප්‍රකාශයේ සංක්ෂිප්ත වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළාය.
අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ සෞඛණ අමාත්‍යංශයේ සම්බන්ධීකරන කාර්යාලයේ ඇති බව සඳහන් වු බව කියමින් කළ ඉල්ලීමකට අනුව අදාළ සියළු අමාත්‍ය මණ්ඩල සංදේශ රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක ලක්සිරි මහතාට බාරදෙන ලෙස මහෙස්ත්‍රාත්වරිය සෞඛ්‍ය ලේකම්වරයාට නියම කළාය.
ප්‍රශ්නගත ඖෂධ 182ක් සැපයීම සඳහා සැපයුම්කරුවන් තොරාගෙන ඇත්තේ ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ (ඩබ්ලිව්” ඕ” ආර්”) සහතිකය දීමට යටත්ව යැයිද ඖෂධ සැපයු සෙසු සැපයුම්කරුවන්ගෙන් ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ ලබාගෙන ඇති නමුත් පළමු සැකකරුගෙන් එම සහතිකය ගෙන නැතැයි විමර්ශන වලදී හෙළී වී ඇතැයි ලක්මිණී ගිරිහාගම මෙනවිය කීවාය.