යල කන්නයේ පොහොර සහනාධාරය බණ්ඩි පොහොර (MOP) ඉලක්ක කර ගනිමින් ලබා දෙන අතර ඒ අනුව ඒ සඳහා වූ රුපියල් 15,000ක මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අද (07දා) සිට ගොවි ගිණුම්වලට බැර කිරීමට නියමිතය.
මේ වනවිට කුඹුරු වගා කර අවසන් කර ඇති ගොවීන් සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි වී වගාවට බණ්ඩි පොහොර යෙදීම පසුගිය කන්න කිහිපය තුළ ප්‍රමාණාත්මකව අවම වී තිබේ. වී කරල ශක්තිමත්වීම සඳහා මෙන්ම වී ඇට පරිපූර්ණවීම සඳහා බණ්ඩි පොහොර යෙදීම අනිවාර්ය බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබුණද පසුගිය මහ කන්නයේ දී එම පොහොර භාවිතය අඩුවී තිබේ. ඒ අනුව හෙක්ටයාර් ලක්ෂ 08ක් පසුගිය මහ කන්නයේ දී වගා කර තිබුණද පොහොර අලෙවි ව ඇත්තේ මෙට්‍රික් ටොන් 11,000ක් පමණක් බව එම දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙයි.
එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන පරිදි මහ කන්නය සඳහා බණ්ඩි පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 30,000ක් වුවද ගොවීන් විසින් මිලට ගෙන ඇත්තේ ඉන් තුනෙන් එකක ප්‍රමාණයක් බව පෙනී ගොස් ඇත. ඒ අනුව බණ්ඩි පොහොර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙවර යල කන්නයේ දී පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම්ව්ලට බැර කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මේ අතර මේ වනවිට අවශ්‍ය ප්‍රමාණයට බණ්ඩි පොහොර තොග රට තුළ පවතින බවට රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙවර යල කන්නය සඳහා බණ්ඩි පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 15,000ක් පමණ වුවද මේ වනවිට මෙට්‍රික් ටොන් 35,000ක තොගයක් පවතින බව සඳහන්ය. ඉන් මෙට්‍රික් ටොන් 27,000ක් රජයට අයත් පොහොර සමාගම් දෙක සතුව පවතින බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.