ළමුන්ගේ පෝෂණය සඳහා වන භාණ්ඩ, සුවසැරි වැනි ගිලන් රථ, වෛද්‍ය උපකරණ සහ පොහොර ඇතුළු විශාල ප්‍රමාණයකට අලුතින් වැට් බදු අය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත්, ඒ සඳහා සහනයක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කළ බවත් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවක් අද (06දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"අලුතෙන් වැට් එක දාලා තියෙනවා අයිතම බර ගණනකට. ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි වැට් එකෙන් නිදහස් වෙන්නේ. රජය කියන්නේ ඔවුන්ට බදු ආදායම අත්‍යවශ්‍යයි කියලා. නමුත් අපි දිගින් දිගටම පෙන්වා දුන්නා බදු ගහද්දි ඒකට සාධාරණත්වයක් තියෙන්න ඕනෑ කියලා. ඒ අනුව යම් යම් අයිතම නැවත සලකා බලන්න කියලා කිව්වා.
මූලික වශයෙන් ළදරු පෝෂණයට අවශ්‍ය දේවලටත් වැට් එක ගහලා තියෙනවා. පෝෂදායී ආහාර වලට වැට් එක ගහන එක අසාධාරණයි කියලා අපි හිතනවා. අනිත් එක පොහොරවලට වැට් එක ගහනවා. ඩීසල්වලටත් වැට් එක ගහනවා. වෛද්‍ය උපකරණවලටත් ගහනවා. සුවසැරිය වගේ ගිලන් රථවලටත් වැට් එක ගහන්න හදනවා. ගිලන් රථ, දරුවන් සම්බන්ධයෙන් වන දේවලට අත්‍යවශ්‍යයි කියලා සලකලා වැට් බදු ගහන්නේ නැතිව ඉන්නවා නම් හොඳයි කියලා අපි මුදල් අමාත්‍යාංශයට යෝජනා කළා. ඒවගේම ආබාධිත අයගේ සහාය උපකරණවලටත් වැට් එක ගහනවා. *