දියවැඩියා රෝගියෙකුගේ මහපට ඇඟිල්ල කපා දැමීමේ ශල්‍යකර්මය කරමින් සිටියදී ඒ සඳහා භාවිතා කළ අස්ථි කපා දැමීමේ කතුරෙන් හෙදියගේ හිසට පහරදීමෙන් ඇගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ සිය පෞද්ගලික මුදලින් ඇයට රුපියල් 50,000/-ක වන්දිියක් ගෙවීමට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් 10,000/-ක වන්දියක් ගෙවවීමට රජයට නියම කළේය.
මීට වසර 05කට පෙර කුරුණෑගල මහ රෝහලේ ශල්යගාරයේදී විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ශල්‍යකර්මය කරමින් සිටියදී කෝපාවිෂ්ඨව පෙත්සම්කාරියට කතුරෙන් පහරදී ඇති බවට ඉදිරිපත් වු සාක්කි මඟින් ශල්‍ය වෛද්‍යවරයා පෙත්සම්කාර හෙදියගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැය තීන්දු කරමින් මෙලෙස වන්දිගෙවීමටට නියම කෙරිණී.
කුරුණෑගල මහරෝහලේ ශල්‍ය අංශයේ සේවය කළ හෙද නිලධාරිනි මාධවී බුද්ධිකා රාජගුරු මහත්මියට මෙලෙස වන්දි ගෙවීමට නියම කරන් ලද්දේ කුරූණෑගල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අශෝක විජයමාන්න මහතාටය.
සිය මුලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් බුද්ධිකා රාජගුරු මහත්මිය විසින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය අශෝක විජයමාන්න මහතා ඇතුළු 6 දෙනෙකු වගඋත්තරකරුවන් වශයෙන් නම් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණී.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු විජිත් මළල්ගොඩ, මහතාගේ එකගත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණී.
2019 මාර්තු 12 වැනිදා දියවැඩියා රෝගියෙකුගේ මාපටඟිල්ල ඉවත් කිරීමේ සැත්කමක් කුරුණෑගල මහරෝහලේ ශල්යගාරයෙදී විශේෂඥ ශල්‍ය වෛද්‍ය අශෝක විජයමාන්න මහතා කළ බවත් පෙත්සම්කාරියද ඒ සඳහා ඔහුට සහය වෙමින් එහි සිටි බවත් සැතකම අතරතුර අස්ථි කපා දැමීමේ කතුර ශල්‍ය වෛද්‍යවරයා පෙත්සම්කාරියගෙන් ඉල්ලා සිටි බවත් නඩු විභාගයේදී අනාවරණය වු බව සඳහන් කළ විනිසුරු මඩුල්ල ඇය විසින් දුන් කතුර අදාළ කාර්යයෙන් පසු ට්‍රොලියේ තැබු අවස්ථාවේදී ”මම කිව්වේ ඕක මෙතන තියන්න කියලා” යැයි වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා පවසා ඇතැයිද ස`ඳහන් කළේය.
පසුව ඔහු කතුර ගෙන පෙත්සම්කාරියගේ හිසට දමා ගැසීම නිසා ඇගේ හිසෙන් ලේ ගලන්නට වු බවත් පසුව ඇය රෝහලේ දින දෙකක් නේවාසිකව ප්‍රතිකාර ගත් බවත් නඩු විභගයේදී අනාවරණය වු බව තීන්දුවේ ස`ඳහන් කළ විනිසුරු මඩුල්ල මේ සම්බන්ධයෙන් උත්තර බඳිමින් වගඋත්තරකාර වෛද්‍යවරයා දැනුම් දුන්නේ මෙය සිතාමතා කළ දෙයක් නොවන බව වුවත් සිද්ධිය වු ස්ථානයේ සිටි සේවකයන් දෙදෙනෙකුගේ දිවුරුම් පෙත්සම් වලින් කෝපාවිෂ්ඨ වු වෛද්‍යවරයා කතුර ගෙන පෙත්සම්කාරියට පහර දුන් බව පැහැදිලි වන්නේ යැයි සඳහන් කළේය.
මේ අනුව වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා කෝපාවිෂ්ඨව පෙත්සම්කාරියට කතුරෙන් පහරදීම කර ඇති බව පැහැදිලි බව තීරණය කරමින් මින් ඇගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණ පෞද්ගලික මුදලින් රුපියල් 50000/- ක වන්දියක් ගෙවීමට ශල්‍ය වෛද්‍යවරයාටද රුපියල් 10000/- ක වන්දියක් ගෙවීමට රජයටද නියම කළේය.