හිටපු පොලිස්පති අර්නස්ට් පෙරේරා මහතාගේ මිණිබිරියගේ බොරැල්ල ඇල්විටිගල මාවතේ මැණින් ටවුන් මහල්නිවාස සංකීර්ණයේ නිවස බිඳ රුපියල් ලක්ෂ 31 කට ආසන්න රන් ආභරණ ඇතුළු දේපළ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිග්රැම් 12000 ක් පොලිස් භාරයට ගෙන ඇත.
එම සැකකරුගෙන් ප්රශ්න කිරීමේදී සොරා ගත් රන් ආභරණ, සුදු රත්තරන් වලින් නිම වූ ආභරණ සහ විදේශීය මත්පැන් බෝතල්, අත් ඔරලෝසු ඇතුළු දේපල රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් 19 වෙනි දින නිවැසියන් ඥාති නිවසකට ගොස් සිටියදී වතුර බටය දිගේ පලවන මහලට ඇතුළු වී නිවසේ නාන කාමරයේ සුළංකවුළුවෙන් නිවසට ඇතුළු වී දේපළ සොරාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
සැකකරු සොරා ගත් මත්පැන් බෝතල්කීපයක් ලබා දී හොරයින් මත්කුඩු මිලදී ගෙන ඇති බවට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මීට පෙරද අපරාධ රැසකට අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සැකකරු නාරහේන්පිට ඇල්විටිගල මාවත පදිංචිකරුවෙකි.සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.