" අපේ රටේ දේශපාලනය තියෙන්නෙ බිස්නස් එකක් විදියට. ජනතාවගෙ චන්ද බලය අරගෙන ආණ්ඩු බලය උපයෝගී කරගෙන ධනය උපදවා ගන්නව. ගෙවල් ගන්නව, තේවතු ගන්නව, කොළඹ ගෙවල් ගන්නව, පිටරට ගෙවල් ගන්නව. එයාලගෙ දේශපාලනය මුදල් ඉපැයීමයි. අපේ රටේ ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙන මේ දේශපාලනය ජාතික ජන බලවේගය විසින් මහජන සේවයක් බවට පරිවර්තනය කරනවා" යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔහු මෙසේ කීවේ බද්දේගම කුම්මේ මහජන ක්‍රීඩාංගණයේද ඊයේ (27) පැවති ජන හමුවේදීය.
" එක් අයෙක් රාජ්‍ය බලයත් ජනාධිපතිධූරයත් තියාගෙනත් තවත් අයෙක් විපක්ෂනායකධූරයත් එයාගෙ නාලිකාත් තියාගෙන මැතිවරණය කෙරුව. ජාතික ජන බලවේගය බලයට පත්වුණොත් තෙල් ගෑස් නැතිවෙනව කිව්ව.කියන්න පුලුවන් තරම් බොරු අවලාද නැගුව. දිගින් දිගටම කියන කොට ජනතාවට ජනතාවට ඒ පිළිබඳව දෙගිඩියාවක් සැකයක් ආව. ඒත් අපි ජයග්‍රහණය කළා. දැන් අපි ජයග්‍රහණය කරල මාසයකට වඩා කෙටි කාලයක් ගතවෙලා තියෙනව. දැන් මොකද වෙලා තියෙන්නෙ.
ඒ කියපු කතා සියල්ල බොරු වෙලා තියෙනව.ඒ කියපු කතා සියල්ල බොරු බව ජනතාව දැන් දන්නව. දැන් මොකද වෙන්නෙ මීලඟ මහ මැතිවරණයෙදි. ජනාධිපතිවරණයේදි චන්දෙ නොදීපු අයත් මහ මැතිවරණෙදි ජාතික ජන වේගයට චන්දෙ දෙනව.මොකද කියන්නෙ දෙනවද නැද්ද . දෙනව.
දැන් අලුතෙන් ආයෙම සාකච්ඡාවක් අරගෙන. අර පරණ කතාවම ආයෙ කියනව. රට කරන්න මේ ගොල්ලනට අත්දැකීම් නැතිලු.අද මීගමුව පැත්තෙදි හිටපු ජනාධිපති කියල තියෙනව මේ අත්දැකීම් නැති අය පාර්ලිමේන්තු එවන්නෙ නැතුව පලපුරුද්ද තියෙන පරණ අයම එවන්න කියල. මොනවට පලපුරුද්ද තියෙන අයද? හොරකමට පලපුරුද්ද තියෙන අය. ඒ විතරක් නෙවෙයි නීතිය මුළුමනින්ම නොසලකන අය.
අපි හැමදෙනාම දන්නව පාරෙ දුවන්න නම් වාහනයක් ලියාපදිංචි කරන්න ඕන කියල.ඒක රටේ නීතිය. වාහනේ අංක තහඩුව මග වැටුණත් මිනිස්සු බයයි පාරෙ දුවන්න.දැන් අහුවෙනව අංක තහඩුත් නැති ලියාපදිංචි නොකල එංගලන්තෙන් උස්සපු වාහන. අන්න පලපුරුද්ද. දැන් කෝටි ගණන් වටින සමහර වාහනත් අහුවෙනව.කවුද රෑට ඇවිත් මිදුලෙ දාල ගිහිල්ලලු.මේ පාලකයො කටයුතු කරල තියෙන්න එහෙම. නීතිය එයාලට අදාලම නෑ. අන්න එහෙමයි එයාලගෙ පලපුරුද්ද .
හොරකම් කරල බේරෙන්නෙ කොහොමද , අපරාධ කරල කට්ටි පනින්නෙ කොහොමද , උසාවි වලින් මග අරින්නෙ කොහොමද . අන්න ඒවට තමයි එයාලගෙ පලපුරුද්ද තියෙන්නෙ.
පාර්ලිමේන්තුව ඇතුලෙත් එයාලගෙ පලපුරුද්ද පෙන්නල තියෙනව.පාර්ලිමේන්තුවට හොරෙන් පිහි ගේන්න පුලුවන්, මිරිස් කුඩු ගේන්න පුලුවන්, පුටු වලින් ගහගන්න පුලුවන් , සභා ගර්බය මැද පෙරලගෙන එකිනෙකා ඇනකොටා ගන්න පුලුවන් , ගේන ඕනම පනතකට සිග්නල් කණු වගේ අත් උස්සන්න පුලුවන්.අර හිටපු සෞඛ්‍ය ඇමතිට බාල බෙහෙත් ගෙනාව කියල විශ්වාසභංගයක් ගෙනාව. ඔය කට්ටිය එයාට පක්ෂව අත ඉස්සුව. අන්න එහෙමයි පලපුරුද්ද
දැන් ජනතාවට නම් මේ පලපුරුදූකාරයො ඇතිවෙලා තියෙන්නෙ.මේ සැරේ පාර්ලිමේන්තුව ඕන අලුත් අයගෙන්.හැබැයි ඒ අය පාර්ලිමේන්තුවට අලුත් වුනාට දේශපාලනයට අලුත් අය නෙවෙයි.රට,ජනතාව විපතට පත්වෙන හැම අවස්ථාවකදිම පෙරමුණ ගත්ත අය. දේශපාලන කරපු අය. රටේ ගංවතුරක් සුනාමියක් වැනි ස්වාභාවික විපතක් ආවත් පෙරමුණ අරගෙන ජනතාව වෙනුවෙන් පෙනී හිටපු අය. අපේ අය හොඳ වැඩට පුරුදු අය. දේශපාලනය පුරුදු අය. ඒ තමයි මාලිමාව. . ඒනිසා නොවැම්බර් 14 දා දේශපාලන පොර පිටිය ශුද්ද කරන්න ඕන. ඒ සඳහා පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න ඕන.
මහ මැතිවරණෙන් පස්සෙ අපි 25කට නොවැඩි ඇමතිධූර සංඛ්‍යාවකින් කැබිනට් මණ්ඩලය පත්කරනවා.ඊට අනුරූපී නියෝජ්‍ය ඇමැති මණ්ඩලයක් පත්කරනවා. ඊට පස්සෙ ක්‍රමානුකූලව රට ගොඩනැගීමේ ක්‍රියාවලිය ආරමභ කරනවා. පළවෙනි වැඩේ රටේ දේශපාලනය යහපත් දේශපාලනයක් බවට පත්කරන්න ඕන. දේශපාලනය කියන්නෙ මහජන සේවයක් කියන එක ඔප්පු කරල පෙන්නන්න ඕන. මන්ත්‍රීවරුන්ගෙ, ඇමතිවරුන්ගෙ , ජනාධිපතිගෙ, හිටපු ජනාධිපතිවරුන්ගෙ වැයබර, වරප්‍රසාද අඩුකරන්න ඕන. ගරු, අතිගරු කියන්නෙ ඒවා ගරු කටයුතු සේවා නිසා.
අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රනය කාර්යක්ෂම කිරීම අපි ප්රමුඛ කාර්යක් කරගන්නව. ජනතාවට තම කාර්ය්යන් කඩිනමින් කරගන්න පුලුවන් විදියට රට ඩිජිටල් කිරීමේ ව්‍යාපෘතිය අපි ආරම්භ කරනවා. ඒ සඳහා කටයුතු කරන්න ලෝකයේ සිටින දක්ෂම පුද්ගලයෙක් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න අපි සමග එකතුවීමට නියමිතයි.
ඊලඟට අපේ රටේ පාසැල් පද්ධතිය නගා සිටුවීමේ කාර්යත් අපි ප්රමුඛ කාර්යක් ලෙස ආරම්භ කරනවා. අපේ රටේ තියෙන පාසැල් වලින් 17% ක විතර ඉන්නෙ ළමයි 50 ට අඩු සංඛ්‍යාවක් . පාසැල් තියෙනව ළමයි නෑ. ළමයි ඉන්නව පාසැල් නෑ .පාසැල් පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩා වැටිල.