රට ගොඩනගන දූෂණ විරෝධී සන්ධානය ජනවාරි දහඅටවෙනිදා සවස එකයි දහ අටට පොළොන්නරුව බුද්ධිමණ්ඩපයේදී සුභ මොහොතින් ආරම්භ කරන බවත්, දූෂණයට විරුද්ධව ක්‍රියාකරන හා නැගී සිටීමට අපේක්ෂා කරන සියලුම අයට, මෙන්ම දේශපාලකයින්ට, නායකයින්ට ඒ සඳහා ආරාධනා කරන බව හිටපු වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.
හොරු අල්ලලා ඇමතිකමෙන් අස්කළාට, රටේ ජනතාව වෙනුවෙන් තමාගේ කාර්ය උපරිම අයුරින් ඉටුකරන බවත්, ඒ සඳහා තමන්ට සැලැස්ම, දැක්ම, මෙන්ම විශ්වාසය තිබෙන බවත්, රට ගොඩනගන නායකයින් කතාකරන විස්සයි හතලිස් අටේ සැලසුම් හදනකොට මේ රටේ මිනිසුන් මැරී අවසන් බවත්, නොවෙන කතා නොව අවශ්‍යතාවය විය යුත්තේ මේ රටේ දුක් විඳින ජනතාව ඉක්මනින්ම ගලවා ගැනීම බවද රොෂාන් රණසිංහ මහතා කීවේය.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ඉදිවෙමින් පවතින චෛත්‍ය රාජයන් වහන්සේගේ වැඩ නිම කිරීමට තම මන්ත්‍රී වැටුප ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ට පූජා කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට ඉදිරි දේශපාලන ගමන පිළිබඳව පැහැදිලි කරමින් රණසිංහ මහතා ඒ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙසේද කීය.
'' රටේ හැම දිස්ත්‍රික්කයකින්ම කතා කරලා මගෙන් ඉල්ලීමක් කරා රට වෙනුවෙන් දේශපාලනය කරන්න ඉස්සරහට එන්න කියලා, හොු අල්ලලා ඇමතිකමෙන් අස්කරාට රට වෙනුවෙන් මගේ කාර්යය මම උපරිම වශයෙන් කරනවා.
ඔව් අපිට පුළුවන් මේ රට ගොඩනගන්න, ඔය විස්සයි හතළිස් අට වෙද්දි ඔක්කොමලා මැරිලනේ,නොවෙන කතා නොකියා මේ මිනිස්සු විඳින දුකෙන් ගලවාගන්නයි ඉක්මනින්ම වෙන්න ඕනි. ප්‍රධාන වශයෙන් අපේ රටට ඕනේ මේ රට හදනවා කියන චේතනාව තියෙන නායකයෙක්, ඒ කියන්නේ හෘද සාක්ෂියට අනුව ඔව් මගේ රට හදනවා කියන චේතනාව තියෙන්න ඕන.
නායකයා කෙළින් යනවා නම් ඔය කවුරුත් දූෂණවලට කටයුතු කරන්නේ නෑ. මම ක්‍රීඩා අමාත්‍යංශය කරද්දී දූෂණයට සම්බන්ධ දෙතුන් දෙනෙක් අයින් කරලා කරා. දූෂණ වංචා කිසිවක් නොමැතිව ක්‍රීඩා අමාත්‍යාංශයට කැලලක් නොවෙන ආකාරයෙන් මම වැඩ කරද්දි තමයි නායකයෝ මාව ඉවත් කලේ.
මේ රටේ ජනතාවට නායකයෝ ගැන විශ්වාසයක් නෑ. ලෝකයේ ආයෝජකයන්ටත් එහෙමයි අපේ රටේ නායකයෝ ගැන විශ්වාසයක් නෑ. ලෝකයේ ආයෝජකයෝ අනුදෙනෙක් ඩොලර් බිලියනය ගානෙ දුන්නොත් අපේ රටේ ණය ඉවරයි. ඉතින් ඒකට සැලැස්මක් ඇතුව යන්න ඕනේ, මේ රටේ රාජ්‍යය නායකයා ඒ අය ගාවට යන්න ඕන.
අද මේ රටේ දේශපාලනික වශයෙන් බයයි, ආර්ථික හා සමාජ බිය තියෙනවා, සංස්කෘතිය අතින් අපි හැමෝම බය වෙලා ඉන්නෙ. මේ රට නිරාගමික රාජ්‍යයක් වෙන්න ඉඩ තියන්න බෑ. සම්බුද්ධ ශාසනය පෝෂණය කරලා, අනෙකුත් ආගම් අතර සංහිඳියාව ඇතිවන පරිදි වැඩකටයුතු කරන්න ඕන. එනිසා අපි එළඹෙන 18 වෙනිදා 1.18 ට අපි හදන්නේ දුෂණ විරෝධී රට ගොඩනඟන සන්ධානයයි. ඒ සඳහා හැමෝම එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා"
මනම්පිටිය නිමල් ජයරත්න