හත්වැනි ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (16දා) උදෑසන 7.00ට ආරම්භ විය. ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 5.00ට දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඡන්දවිමසීමේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් හැට දහසකට අධික ප්‍රමාණයක් රාජකාරියේ යොදවා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යෙදවීමට සැලසුම් කර තිබේ. මීට අමතරව ජංගම පොලිස් සංචාර හා මාර්ග බාධක යෙදවීමට සැලසුම් කර ඇති අතර, පොලීසියේ සහයට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යෙදවීමට හා සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් යෙදවීමටද නියමිතය.
ඡන්ද පොළවල් දොළොස් දහස් අටසිය පනස් හයක් පිහිටුවා තිබෙන අතර, 2018 ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් සියලුම ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.
මේ අනුව ඡන්ද දායකයන් එක්කෝටි පනස් නව ලක්ෂ අනූදෙදහස් අනූහයක් සුදුසුකම් ලබා තිබෙන අතර, මෙම පිරිසෙන් හයලක්ෂ පනස් නවදහස් තුන්සිය දාහතක් තැපැල් ඡන්ද දායකයන් වේ. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ පසුගිය මස 31 හා මේ මස 01 වැනි දින හා 4 සහ 5 යන දිනවල පැවැත්විණි.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් තිස්පස් දෙනෙකු තරග කරන අතර, මේ නිසා ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් 26ක් බවට පත්වී තිබේ. මැතිවරණ රාජකාරි සඳහා ලක්ෂ දෙකකට අධික රාජ්‍ය සේවකයන් ඍජුවම රාජකාරියේ යොදවා තිබෙන අතර, ගණන් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රමාණය හතළිස් තුනකි.
ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව තර කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවට අමතරව, ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආසන්නයේ මාර්ග බාධක යෙදීමටත් සැලසුම් කර තිබේ.
පළමු ඡන්ද ප්‍රතිඵලය අද (16දා) මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලබාදීමට හැකියාව තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.