වසර තුනක පමණ කාලයක සිට දිවයිනේ බන්ධනාගාරවල පවතින නිලධාරීන් 1834 දෙනෙකුගේ හිඟය නිසා රාජකාරී කටයුතු කිරීමේදී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී එස්. දිසානායක මහතා සඳහන් කරයි.
දිවයිනේ බන්ධනාගාරවල පවතින උග්‍ර නිලධාරී හිඟය පිළිබඳව කරුණු විමසීමේදී හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේය.
දිවයිනේ සියලුම බන්ධනාගාරවල රාජකාරී කටයුතු කිරීම සඳහා නිලධාරීන් 7872ක් අනුමත වී තිබේ. එහෙත් දැනට නිලධාරීන් සිටින සංඛ්‍යාව 6038 ක් වන අතර ඒ අනුව මෙම නිලධාරීන් 1834 පුරප්පාඩු වී ඇත.
මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා පසුගිය වර්ෂයේදී නියාමකයන් බඳවා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව පැවති විභාගයට ආධුනිකයන් 750 පිරිසක් ඉල්ලුම් කොට තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි එස්. දිසානායක මහතා සඳහන් කරයි .මෙහිදී 347 දෙනකු බඳවා ගැනීමට බලාපොරොත්තු වුවද මූලික පරීක්ෂණයට පැමිණ සිටි දෙගුණයකගේ පිරිසෙන් ඒ සඳහා සම්මුඛ පරීක්ෂණයට සහභාගී වූයේ අඩු පිරිසක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.
මෙම ආධුනික නිලධාරීන් බඳවා ගැනීම සඳහා කැදවූ ශාරීරික පරීක්ෂාවට 50%-55% ක් පමණ පිරිසක් පැමිණ තිබුණි. මෙම පිරිස අතරින් සුදුස්සන් තෝරා ගැනීම සඳහා ශාරීරික පරීක්ෂණයක් පැවති අතර එහිදී එම පරීක්ෂයෙන් සමත්වීමට හැකියාව ලැබී ඇත්තේ 172 දෙනෙකුට පමණි .වැඩි පිරිසක් ශාරීරික යෝග්‍යතාවයෙන් අසමත් වූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී එස්. දිසානායක මහතා ප්‍රකාශ කරයි.
මෙලෙස තෝරාගත් පිරිසකගේ ලේඛනය 2024 දෙසැම්බර් මුල් සතිය තුළදී විභාග දෙපාර්තමේන්තුවට යවා ඇති අතර එහිදී 172 කුගේ සමත් ලේඛනයක් ලබාදී තිබේ. ඒ අය ඉදිරියේදී වෛද්‍ය පරීක්ෂණයකට කැඳවා මාස 03 ක පුහුණුවක් ලබා දී බන්ධනාගාර නිලධාරීන්ගේ ලෙස සේවයට කැඳවාගැනීමට නියමිතය.
මීට අමතරව දෙවන කණ්ඩායම බදවා ගන්නා මෙන් බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුවද සම්මුඛ පරීක්ෂණ කැඳවා තවත් පිරිසක් බඳවා ගැනීමට බලාපොරොත්තු වෙයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ගාමිණී එස්. දිසානායක මහතා මෙසේ ප්‍රකාශ කරයි.
"අපට මේ පවතින නිලධාරී හිඟය නිසා විවිධ දුෂ්කරතා මතුවෙලා තියෙනවා. අධිකරණයේ හදිසි කැඳවීම් නියෝග ලැබෙනවා. ඒවට යවන්නට අපට නිසි පරිදි නිලධාරී ඉන්න ඕනා. ඒ නිසා කාර්යාල වල සේවයේ සිටින අයගෙන් එම සේවා අවශ්‍යතා සම්පූර්ණ කරගන්නවා. ඒ නිසා කාර්යාල පද්ධතියේත් යම් අඩාල වීමක් ඇතිවීමට ඉඩ තියෙනවා. හදිසි කැඳවීම් , ඇප අත්සන් කිරීම වැනි කාර්යයන් ක්ෂණිකව කළ යුතුව තිබෙනවා.
මේ නිසා එවැනි අය කරන අතිරේක සේවා කාලයට අතිකාල දීමනා ගෙවීමට සිදුවෙනවා . මේ නිසා ඔවුන්ට වසරකට මිලියන දහයක් විතර වෙන් කරන්නට සිදුවෙනවා. මෙය දැරිය නොහැකි තත්ත්වයක් බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ගාමිණී එස්. දිසානායක මහතා ප්‍රකාශ කළේය.
කමල් ශ්‍රී ලියනගේ