කඳුකර කොටියෙකු නිවසේ ඇති කරන ලද සුනඛයෙකු ගොදුරු කර ගැනීම සඳහා කොත්මලේ, නව තිස්පනේ, දොඹගස්තලාව ගම්මානයේ නිවසට පැමිණෙන අයුරු එම නිවසේ සවි කොට තිබු ආරක්ෂිත කැමරාවක සටහන්ව ඇති බවත්, මේ හේතුවෙන් තමන් බියට පත්ව ඇතැයි එම ගම්මානයේ වැසියෝ පවසති.
නව තිස්පනේ, දොඹගස්තලාව ගම්මානය ඇතුළු ඒ ආශ්රිත ගම්මානවල සැරිසරණ කඳුකර කොටියන් නිසා සිය දෛනික කටයුතු සිදු කරගෙන යාමේදී ගම්වැසියන් බියට පත්ව ඇතැයිද ඔවුහු කියති.
දොඹගස්තලාව ගම්මානය අවට පිහිටි රක්ෂිත කැළෑවන් තුළ වෙසෙන කඳුකර කොටියන් මෙසේ රාත්රී කාලයට ගම්මානයට පැමිණ සිය නිවාසවල සුරතලයට ඇති කරනු ලබන සුනඛයන් ගොදුරු කර ගැනීමට පුරුදුව ඇති බවත්, මේ හේතුවෙන් රාත්රී කාලයට නිවාසවලින් බැහැරව යාම තම ජීවිතවලට පවා තර්ජනයක් එල්ල වී ඇතැයි ගම්වැසියෝ සඳහන් කරති.
නව තිස්පනේ, දොඹගස්තලාව ගම්මානයේ පදිංචි සරත් මහතාගේ නිවසේ සවි කොට ඇති ආරක්ෂක කැමරා පද්ධතියේ මෙසේ කඳුකර කොටියෙකු නිවසේ ඇති කරන සුනඛයා ගොදුරු කර ගැනීමට පැමිණෙන අයුරු සටහන්ව තිබේ.
ශාන් හුලංනුගේ
පින්තූර- සුනඛයා ගොදුරු කර ගැනීමට පැමිණෙන කඳුකර කොටියා