රාජ්‍ය නිල යාන්ත්‍රණයේ හා පෞද්ගලික අංශයේ ආයතනික සීමාවන්ගෙන් බැහැර වී සාමුහික කණ්ඩායම් හැඟීමෙන් ඒකාබද්ධ ව වැඩ කිරීම මගින් අභියෝග ජය ගෙන රට ඉදිරියට රැගෙන යා හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
මුදල් අමාත්‍යාංශයත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයත් මිලේනියම් අයිටී, ඩයලොග් ආසියාටා යන පෞද්ගලික ආයතන දෙකත් ඒකාබද්ධ ව වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක ද සහයෝගය මත සකසන ලද අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් පාසල් අභ්‍යාස පොත්පත් හා උපකරණ ලබා දීමේ යාන්ත්‍රණය මත තෝරාගනු ලැබූ දරුවන් වෙත රු. 6000/- බැගින් වූ තිළිණපත් ලබා දීමේ වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
ඊයේ දින (06) අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මෙම වැඩසටහනේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියේ, සෑම දරුවකුට ම අධ්‍යාපනයේ සම අවස්ථා ගෞරවාන්විත ව ලබාගැනීමේ ඉඩ ප්රස්ථා විවර කර දීමේ රජයේ අපේක්ෂාව ඉටු කරගැනීම සඳහා අධ්‍යාපන අවශ්‍යතා කෙරෙහි ප්රමුඛ අවධානයක් යොමු කර භෞතික සම්පත් ලබා දී එම පවුල් නගා සිටුවීමට ක්‍රියා කිරීමේ දී මනා විනිවිද භාවයක් සහිත ව කඩිනම් හා භාවිතයට පහසු ක්‍රමවේදයක් ඒ වෙනුවෙන් සකස් කරගැනීමට හැකි වූයේ, රාජ්‍ය හා පෞද්ගලික දෙයංශයේ මනා සුසංයෝගය හා කැපවීම මත බව ය. මෙම නව ඒකාබද්ධ ක්‍රියාවලිය හරහා යල්පැනගිය සාම්ප්‍රදායික ක්‍රමවේද මගින් තොරතුරු ලබාගැනීමේ දී සිදු විය හැකි අක්‍රමිකතා හා ප්‍රමාදයන් රැසක් වලක්වා ගත හැකි වීම සම්බන්ධයෙන් තෘප්තිමත් භාවයකට පත් විය හැකි බවත් මෙහි දී අගමැතිවරිය සඳහන් කළාය.
මෙම ඒකාබද්ධතා පුරවැසි සහයෝගීතා ක්‍රමවේදය ඉදිරියටත් විධිමත් ව පවත්වා ගැනීම මගින් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ම කාර්යක්ෂ්ම හා ඵලදායි ලෙසින් යාවත්කාලීන කළ හැකි වනු ඇති බවට ද අග්‍රාමාත්‍යවරිය මෙහි දී විශ්වාසය පළ කළාය.
එහි දී තවදුරටත් අදහස් දක්වමින් හරිනි අමරසූරිය මහත්මිය පවසා සිටියේ, භෞතික සම්පත්වල හිඟකම හේතුවෙන් බොහෝ දරුවන්ගේ පාසල් ගමන අතරමග නතර වන බවත් එසේ දරුවන් පාසල් හැර යාම වලක්වා දරුවන් පාසල් තුළ රඳවා ගැනීමට අභිප්‍රේරණයක් ඇති කිරීම ද මෙවැනි භෞතික සම්පත් ලබා දීමේ මුඛ්‍ය අරමුණක් වී ඇති බව ය.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමාගේ යෝජනාවක් මත දියත් වූ මෙම ක්‍රියාවලිය, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මූලිකත්වය ගෙන සහයෝගයෙන් ඉදිරියට ගෙන යන බවත් අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස ගුණාත්මක සංවර්ධනයක් ද සහිත ව ඉදිරියට ගෙන යෑමට එය මනා පිටුබලයක් වන බවත් හරිනි අමරසූරිය මහත්මිය මෙහි දී පැවසී ය.
මෙම වැඩසටහනේ පළමු අදියර තුළින් මේ වන විටත් අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දරුවන් එකොළොස් ලක්ෂ හත්දහසකට (1,107,000) සෘජු ව ම මුදල් ගිණුම්වලට බැර කර ඇති බවත් දෙවන අදියරේ පළමු පියවර ලෙස අස්වැසුම ප්රතිලාභ හිමි නොවුණු පවුල්වල දරුවන් තුන්ලක්ෂ හතලිස් පන්දහස් හත්සිය තිස් දෙදෙනෙක් (345,732) සඳහා වවුචර්පත් මුද්‍රණය කර ඛෙදා හැර ඇති බවත් දෙවන අදියරේ දෙවැනි පියවර සඳහා මේ වන විට පාසල් ළමුන් එක්ලක්ෂ දහඅට දහස් එකසිය හතලිස් දෙදෙනෙක් (118,142) ලියාපදිංචි වී ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය මෙම තිළිණපත් දරුවන්ට ලබා දීම සඳහා ලියාපදිංචිය තහවුරු කර ඇති වෙළෙඳ ආයතන සංඛ්‍යාව මේ වන විට 315ක් වන අතර 178ක් ලියාපදිංචිය අපේක්ෂාවෙන් පසු වන බව ද කීය.
එසේ ම රජයේ හා පෞද්ගලික පාසල්වල මෙන් ම පිරිවෙන්වල සහ විශේෂ අවශ්‍යතා සහිත පාසල් ඇතුළු සමස්ත පාසල් පද්ධතියේ වැඩි පරාසයක ශිෂ්‍ය සංඛ්‍යාවකට මෙම ප්රතිලාභ හිමි වන අතර එය මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 68%ක් පමණ වන බව ද ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහි දී සඳහන් කළාය.
මේ අවස්ථාවට මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව, ප්‍රසම්පාදන අතිරේක ලේකම් දේවිකා ලියනගේ, මිලේනියම් අයිටී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ෂෙවාන් ගුණතිලක, ඩයලොග් ආසියාටා පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරීහු එක් ව සිටියහ.