"මම දේවාලයක් පවත්වාගෙන යමින් දේව ගැතිවරියක් ලෙස කටයුතු කරන නිසා සැමියාට මගෙන් ඉටුවිය යුතු යුතුකම් පැහැර හැරුණා. ඒ නිසා අපි දෙදෙනා අතර නිතර නිතර ආරවුල් පවා ඇති උනා. මම හිතන්නේ ඒ පිළිබඳව ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් සැමියා මෙසේ දිවි නසා ගන්නට ඇති බව " බත්තරමුල්ල අකුරේගොඩ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය තුළදී වෙඩි තබාගෙන සියදිවි හානි හානිකර ගත් යුධ හමුදා සෙබළාගේ බිරිඳ වන මීරිගම , ඉහල මඩන්පැල්ල, කේ.ඩී. වත්තේ අංක 331 / 353 හි පදිංචි අංගම් පොඩිගේ දුලිකා චතුරංගී (33) මහත්මිය පැවසුවාය.
ඇය මේ බව කියා සිටියේ බත්තරමුල්ල අකුරේගොඩ ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානය ඇතුලත මුරපළක ඉකුත් (31) දා පස්වරු රාජකාරියේ නිරතව සිටියදී සිය රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත් ලාන්ස්කෝප්රල් වරයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදෙමිනි.
මෙසේ මියගොස් ඇත්තේ මීරිගම , ඉහල මඩන්පැල්ල, කේ.ඩී. වත්තේ අංක 331 / 353 හි පදිංචි මැණික්දිවෙලගේ දුමින්ද මැණික්දිවෙල නමැති (35) හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය කියයි.
සිද්ධියෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ මෘත දේහය තලංගම දිසා රෝහලේ තැන්පත් කර තිබූ අතර එහි පැමිණි කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් ලක්ෂ්මි සූරියගේ මහත්මිය ස්ථානීය පරීක්ෂණය සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළ අතර කඩුවෙල මහේස්ත්‍රාත් ඩී.ජී.පී කරුණාරත්න මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානය පරීක්ෂණය සිදු කරන ලදී.
ඒ අනුව මියගිය සෙබලාගේ මෘත දේශය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ වෝහාරික අධිකරණ වෛද්‍ය පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අසේල මෙන්ඩිස් මහතා විසින් සිදු කරන ලදී.
එහිදී මියගිය සෙබලාගේ බිරිඳ තවදුරටත් සාක්ෂි දෙමින් මෙසේද කීවාය.
මේ මියගොස් සිටින්නේ මගේ විවාහක සැමියා. මීට වසර හයකට පමණ පෙර අපි විවාහ උනේ. අවුරුදු පහක පුතෙක් අපිට ඉන්නවා. මීට අවුරුදු දාසයකට පමණ පෙර සැමියා යුද හමුදාවට බැඳුණේ.
මීට වසර හතරක පමණ සිට මම දේවාලයක් පවත්වාගෙන යමින් දේව ගතිවරියක ලෙස වැඩ කරනවා. ඒ ශාන්ති කර්ම කර්ම පේ වෙලා තමයි කරන්න ඕනි. ඒ නිසා සැමියාට මගෙන් ඉටු විය යුතු යුතුකම් මගහැරුන. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සැමියා මාත් එක්ක කතා කරලා තියෙනවා. නමුත් ශාන්ති කර්ම වැඩ නිසා මට සැමියාට යුතුකම් ඉටු කරන්න බැරි උනා.
මේ නිසා අපි දෙන්නා අතර බහින් බස්වීම් ඇති වී අඬදබර පවා ඇති උනා. මේ සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසියේ ඔහු පැමිණිල්ලක් කළා. ඒක විභාග කලේ ඉකුත් 29 දා. එහිදී අපි දෙන්නා සමාදාන වෙලා ගෙදර ආවා. ඒ වන විට ඔහු දියතලාව යුද හමුදා කඳවුරේ අවි පුහුණුවක් අවසන් කරලයි ගෙදර ඇවිත් හිටියේ. දින දහයක් නිවාඩු ඉඳල ගෙදරින් ගියේ. පුහුණුවෙන් පස්සේ බත්තරමුල්ල අකුරේගොඩ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ රාජකාරියට අනුයුක්ත කරලා තිබුන නිසා එහේ යනවා කියල (30) දා ගෙදරින් ගියා.
ඒ ගිහින් එදින සහ පසුදා අවස්ථා කිහිපයකදී දුරකථන ඇමතුම් පවා ගත්තා. එහිදී සුහදව කතා කලා. කිසිදු සැකයක් තිබුණේ නෑ. සිද්ධිය වූ දා සවස 5.30 පමණ මට කෝල් එකක් අරන් කිව්වා " ඔයා සතුටින් ඉන්න , පුතාව හොඳින් බලා ගන්න , කියල කියනවත් එක්කම දුරකථනය විසන්ධි උනා. පසුව අවස්ථා කිහිපයකදී ඇමතුමක් ගන්න උත්සාහ කළත් බැරි උනා. ඊට පස්සේ තමයි පොලිසියෙන් ඇවිත් මට කිව්වෙ මේ විදිහට කරදරයක් වෙලා සැමියා රෝහල් ගත වෙලා ඉන්නවා කියලා.
ඒ අනුව මමත් ඥාතීන් කීපදෙනෙකුත් සමග ඇවිත් බැලුවහම තමයි දැනගත්තේ රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන කියලා. මම හිතන්නේ මගෙන් සිදුවුණු අඩුපාඩු නිසා ඇති වූ සිත් තැවුල හේතුවෙන් මේ විදියට වෙඩි තබාගෙන ජීවිතය නැති කරගන්න ඇති කියලා. මට කිසි සැකයක් නැහැ. මගේ සැමියාගේ දේහය භාරගන්නවා යැයි පැවසුවාය.
මෘත දේහය මියගිය සෙබලාගේ බිරිඳට භාරදුන් අතර මෘත දේහය ඉහල මඩන්පැල්ල පොදු සුසාන භූමියේදී භූමදානය කරන ලෙසට නියෝග කළේය.
වෙඩි තබා ගැනීම සඳහා භාවිතා කළ ටී 56 ගිනි අවිය සහ උණ්ඩය පොලිස් භාරයට ගෙන තිබේ.