සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඔහු පසුපස ලුහුබැඳි තණමල්විල පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුට අද (27දා) අලුයම බඳින තුවක්කුවක් පත්තුවී තුවාල සිදුවී ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
මෙලෙස වෙඩිවැදී ඇත්තේ තණමල්විල පොලීසියේ සේවයේ නියුතු පොලිස් සැරයන් 35994 සිල්වා නැමති අයටය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැරයන්වරයා තණමල්විල ප්රාදේශීය රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා හම්බන්තොට දිස්ත්රික් මහ රෝහලට මාරුකර යවා ඇත.
බලහරුව 23 කොලණිය ප්රදේශයේ මුරසංචාරයේ යෙදී සිටි තණමල්විල පොලීසියේ නිලධාරීන් හට සැකකටයුතු ලෙස පාර්සලයක් රැගෙනයමින් සිටි පුද්ගලයෙකු දැක ඔහුට නතරවන ලෙස සංඥාකර ඇති අතර ඔහු කැළෑව දෙසට දිවගොස් තිබේ.
ඔහු අත්අඩංගුවටගැනීමට ලුහුබැඳ යාමේදී ළඳු කැළෑවේ ඌරන්ට අටවා තිබු බඳින තුවක්කුවක් පත්තුවීමෙන් සැරයන්වරයාගේ පාද දෙකටම තුවාල සිදුවී තිබේ. සිද්ධිය පිළිබඳව තණමල්විල පොලීසිය පරීක්ෂණ පවත්වයි.