දේශපාලනික වශයෙන් පසුබෑමකට ලක්වුවද රටට මුල් තැන දී කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් සමග හෝමාගම ප්‍රදේශයේ පැවති හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“අපි මේ දේශපාලන ව්‍යාපාරවල නිරත වෙන්නේ , මේ ප්රජාතන්ත්රවාදී ගමන ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ ආශිර්වාදය මත අපේ රට දිනවන්න. අපේ රට ගොඩනගන්න. මේ දේශපාලනය හරහා අපි අදහස් කරන්නේ රට දිනවන, රට ශක්තිමත් කරවන, වැඩ පිළිවෙළකට මුලපුරලා මේ රටේ ලක්ෂ 220ක් ජනතාව ආරක්ෂා කරමින්, රැක ගනිමින් අපේ රටේ දරු පරපුර, ළදරු පරපුර , යෞවන යෞවනියන් , කාන්තා පරපුර , මේ පුරවැසි ප්‍රජාව රැකගෙන, ආරක්ෂා කරගෙන සෞභාග්‍ය සම්පන්න රටක් නිර්මාණය කිරීමටයි .
මට හමුවුණා ඉන්දියාවේ විදේශ අමාත්‍යතුමා. ආචාර්ය ජයිශංකර් මහතා. ඒ හමුවුණු අවස්ථාවේ මම එතුමාට ස්තූතිවන්ත වුණා අපේ රට බංකොළොත් වුණු මොහොතේ සිට තනි රටක් හැටියට විශාලතම ආධාර, මූල්‍ය ශක්තිය ඉන්දියාව ලබා දීම ගැන. මම එතුමාට යෝජනා කළා වෙනදාටත් වැඩිය අපේ රටට ඉන්දියාවේ සහයෝගය ලබා දෙන්න කියලා. මම ඉල්ලීමක් කළා වැඩි වැඩියෙන් අපේ රටට උදව් කරන්න කියලා.
මම යෝජනා කළා මෙරටට එන ඉන්දියානු සංචාරකයන් ප්‍රමාණය වර්ධනය කරලා, අපේ රටේ සංචාරක ක්ෂේත්රය ශක්තිමත් කරන්න කියලා. අපේ රටේ කර්මාන්තශාලා පිහිටුවලා , නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රය වගේම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේත් ඉන්දීය ආයෝජන වර්ධනය කරලා අපේ රටට කළ හැකි උපරිම සහයෝගය ලබා දෙන්න කියලා මම යෝජනා කළා.
ඇයි අපි එහෙම කළේ? මතක තබා ගන්න අපේ රට අදටත් බංකොළොත් රටක්. ණය ගෙවාගන්න බැරි රටක්. කෙටි කාලයක් තුළ 2028 වන විට ආපසු ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කරන රටක් මේක. එහෙම නම් අපි අපේ ගමන තුළ සෑම අවස්ථාවකම රටේ සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටින්නට ඕනෑ. රටේ සංවර්ධනය උදෙසා අපට කළ හැකි උපරිම කාර්ය භාර්ය අපි ඉෂ්ට කරන්න ඕනෑ. අපේ දේශපාලන ගමනෙහි සම්ප්‍රදායික දේශපාලන කුහකකම , වෛරය, ඊර්ෂ්‍යාව , පළිගැනීම, හිංසනය, පීඩනය නෑ. අපේ දර්ශනය තුළ නෑ. ”