දේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපා කම් හේතුවෙන් පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ සමෘද්ධි ව්‍යාපාරය යළි පණගැන්වීම සඳහා ජාතික වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇති බවයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සමෘද්ධි බැංකු මුලස්ථාන හා ප්‍රජා මූල බැංකු කළමනාකරුවන්, සමෘද්ධි වෘත්තිය සමිති නියෝජිතයන් සහ සමෘද්ධි නිලධාරින් සමඟ පැවැත්වු සාකච්ඡාවකට පසුගියදා සහභාගී වෙමිණි. එම සාකච්ඡාව පැවැත්වුණේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී.
“අලුත් ගමක් - අලුත් රටක්”සුභ සාධක රාජ්‍යයෙන් නිෂ්පාදන රාජ්‍යයක් වෙත යනුවෙන් නව වැඩසටහන නම් කර තිබේ. ඒ සඳහා වන උපායමාර්ගික ක්‍රියාකාරකම් හදුනා ගැනීම දිස්ත්‍රික් මට්ටමින් මේ දිනවල සිදුවෙයි. ඒ අනුව සමෘද්ධි ව්‍යාපාරය සවිබල නැංවීම සඳහා වන යෝජනා එම ක්ෂේත්රයේ නියුතුවූවන්ගෙන් ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි ඇමතිවරයා මෙහිදී කීවේය. නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ මතුවන ගැටළු හදුනා ගැනීම හා ඊට විසඳුම් ලබා දීම එහි අරමුණයි.
සමෘද්ධි ව්‍යාපාරය මෙරට දිළිඳුකම පිටු දැකීම සඳහා ආරම්භ කළ ප්‍රධානතම ව්‍යාපෘතියකි. ඒ වෙනුවෙන් සහල් සලාක ක්‍රමය, ආහාර මුද්දර ක්‍රමය, ජනසවිය වැඩසටහන, සමෘද්ධි හා අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.
සමෘද්ධි ව්‍යාපාරය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මකයි. ඒ නියමු ව්‍යාපෘතියක් ලෙස හා ජාතික ව්‍යාපෘතියක් ලෙසයි.
සවිබලගැන්වීමේ නියමු ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර, ලෝක බැංකු මූල්‍යාධාර සහ ජපන් සමාජ සංවර්ධන අරමුදල් යටතේ නියමු ව්‍යාපෘතිය මූලාශ්‍ර 03ක් යටතේ ක්‍රියාත්ම කෙරේ.
ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර නියමු ව්‍යාපෘතිය යටතේ තෝරාගත් දිස්ත්‍රික්ක 13ක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 64ක, ග්‍රාම නිලධාරී වසම් 400 ක පවුල් 10,000ක් සවිබලගැන්වීමට අපේක්ෂිතයි. ව්‍යාපෘති කාලය වසර දෙකකි. ඒ සඳහා රුපියල් මිලියන 2,223.14 මුදලක් වෙන් කර තිබේ. එක් ප්‍රතිලාභියකු සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 150,000කි. කළුතර, කුරුණෑගල, කෑගල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
ලෝක බැංකු මූල්‍යාධාර නියමු ව්‍යාපෘතිය තෝරාගත් දිස්ත්‍රික්ක 12ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 74ක, ග්‍රාම නිලධාරී වසම් 395ක ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, රත්නපුර, බදුල්ල, මොනරාගල, අම්පාර, වව්නියාව සහ මන්නාරම එම දිස්ත්‍රික්කයි. මේ යටතේ පවුල් 6,000කට ප්රතිලාභ හිමිවේ. එම ව්‍යාපෘතිය 2027 දක්වා ක්‍රියාත්මකය. වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2,560කි.
ජපන් සමාජ සංවර්ධන අරමුදලේ මූල්‍ය ප්‍රදානයන් යටතේ ක්‍රියාත්මක කෙරෙන නියමු ව්‍යාපෘතිය සඳහා රත්නපුර, බදුල්ල, මොණරාගල, අම්පාර, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික් හය තෝරා ගෙන ඇත. සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සහ සියළුම ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා රුපියල් මිලියන 8,400ක මුදලක් වෙන් කර තිබේ.
ජාතික වැඩසටහන යටතේ “අස්වැසුම” සුභසාධක ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට සැලසුම් කර තිබේ.
ඒ යටතේ 2024 වසර තුළ පවුල් ලක්ෂ 03ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව සමෘද්ධි සංවර්ධන අධිකාරිය මෙහිදී කීවේය. මෙම ජාතික වැඩසටහන මුළු දිවයිනම ආවරණය පරිදි ක්‍රියාත්මකයි. මේ වසර සඳහා රුපියල් මිලියන 14,000ක මුදලක් මහා භාණ්ඩාගාරය ඒ සඳහා වෙන් කර තිබේ.
මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා,“ලංකාවේ තිබෙන දිලිඳුකම පිටු දැකීමේ ප්‍රධානතම ව්‍යාපාරය වන්නේ සමෘද්ධි ව්‍යාපාරයයි. සහනාධාර වැඩසටහනක් ලෙස පමණක් නෙමෙයි සමාජ සුභසාධන වැඩසටහනක් ලෙසත් මෙය ක්‍රියාත්මක වුණා. සමෘද්ධි ව්‍යාපාරයට විවිද චෝදනා එල්ල වී තිබුණා.
මේ සමෘද්ධි ව්‍යාපාරය රැක ගැනීම මේ රටේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් කරන යුතුකමක් හා වගකීමක්. ඒ නිසයි රජය තීරණය කළේ නැවත සමෘද්ධි ව්‍යාපාරය සවිබල ගන්වන්න. ඒ සඳහා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කළා. පසුගිය කාලේ සමෘද්ධි ව්‍යාපාරය යහපත් ආකාරයට ක්‍රියාත්මක වුණා. නමුත් විවිධ දේශපාලන අතපෙවීම් සහ විවිධ අයගේ ඕනෑ එපා කම් මත නිසා යම් පසුබෑමකට ලක්වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමෘද්ධි ව්‍යාපාරය නැවත පණ ගන්වන්න තීරණය කළේ. මේ තත්ත්වය වටහා ගත් නිසයි.” යනුවෙන්ද පැවසීය.