සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කොට තිබේ .
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සේ සිද්ධාර්ථ මහා නා හිමියන් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නා හිමියන් අමරපුර මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභීධාන මහා නා හිමියන් යන මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව යොමු කොට ඇති එම ලිපියේ මෙසේ සඳහන්ය .
රටේ සංස්කෘතික අනන්‍යතාවයන් , ඓතිහාසික උරුමය හා චිරාගත සද්චාරිත්රයන් නොසලකා පටු අත්තනෝමතික මත පදනම්ව රාජ්‍ය පාලනයෙහිලා යමක් උත්සාහ කරන්නේ කරන්නේනම් එය රාජ්‍ය ආරාජික වීමට මෙන්ම සමාජ බිඳවැටීමට බලපාන බව චක්කවත්ති සිහනාද සූත්‍රයේ දී තථාගතයන් වහන්සේ පැහැදිලි කර ඇත .
ධර්මද්වීපය ලෙස පෙරාපර දෙදිග සම්භාවිත ශ්‍රී ලංකාව බෞද්ධ දාර්ශනික හරපද්ධතීන්ගෙන් පෝෂණය වූ විශිෂ්ට සංස්කෘතික උරුමකම් කියයි . දානය, ප්‍රිය වචනය, අර්ථචරියාව හා සමානත්වතාව යන යන සතර සංග්‍රහ වස්තූන් මත ගොඩනැගුණු එකී ලාංකේය සංස්කෘතියේ මෞලික හර පද්ධතිය ආරක්ෂා කර ගැනීම රාෂ්ට්‍රිය සමෘද්ධිය උදෙසා අත්‍යවශ්‍ය සාධකයකි .
මෙරට චිරාගත සංස්කෘතික හර පද්ධතින් පිළිබඳ නොසලකා ඉතාමත් සුළුතර පිරිසකගේ අවිචාරවත් අවශ්‍යතාවයක් පූර්ණය කර ගැනීමේ පටු පරමාර්ථ පෙරදැරි කරගෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පසුගිය දින පාර්ලිමේන්තුවට යොමු කළ සමරිසි පනත් කෙටුම්පත මෙරට සමස්ත සමාජ දේහය විකෘති කිරීමට මෙන්ම සාරධර්ම පරිහානියට හේතු වන්නක් බව අපි තරයේ අවධාරණය කර සිටිමු .
මෙවැනි පටු අරමුණු සහිත පනත් කෙටුම්පත් සම්මත කිරීම පවුල් සංස්ථාව බිඳවැටීමට මෙන්ම සමාජ සංස්ථාවන් තුළ අසමතුලිතතාවයක් නිර්මාණය වීමට හේතු වන අතරම එහි අතුරුඵලයක් ලෙස සමාජ සුරක්ෂාව දැඩි තර්ජනයකට ලක්වේ . මව පියා වැනි උත්තරීතර සමාජ සංකල්ප බිඳවැටීමට තුඩු දෙන මෙවැනි නීති සම්මත කිරීම සමාජ පරිහානියට හේතු වන බව මහජන නියෝජිතයින් අවබෝධ කොට නොගැනීම වර්තමාන ශ්‍රී ලාංකේය දේශපාලන ප්රවාහයන්ගේ අන්ධානුකරණ ගති ලක්ෂණ හා මෙරට සංස්කෘතික හර පද්ධතින් පිළිබඳ පවතින අනවබෝධය මනාව ප්‍රදර්ශනය කරයි .
"අධම්මරාගය" හෙවත් මව, පියා, සහෝදරයා, සහෝදරිය ආදී බැඳීම් හා ඥාති සම්බන්ධතාවයන් නොසලකා තිරිසන් ගත සතුන් මෙන් ලිංගික ප්රීණනය සඳහා පුද්ගලයන් යොමුවීම මෙන්ම "මිච්ඡාධම්ම" හෙවත් සමලිංගික හැසිරීම හේතුවෙන් පුද්ගලයන්ගේ ආයුෂය හා වර්ණය පරිහානියට පත්වන ආකාරය මෙන්ම එය සමාජ බිඳවැටීමට හේතු වන ආකාරය චක්කවත්ති සිහනාද සූත්‍රය තුළ තථාගතයන් වහන්සේ මනාව පැහැදිලි කොට ඇත .
එවන් පසුබිමක් තුළ පින පව කුසලය අකුසලය පිළිබඳ සමාජය දැනුවත් කරමින් ආධ්‍යාත්මික මාර්ගෝපදේශකත්වය සැපයීම මහා සංඝරත්නය ලෙස අප වෙත පැවරී ඇති වගකීමයි . විවිධ බාධක අර්බුද අභියෝග මධ්‍යයේ වුවද ලාංකේය භික්ෂු පරපුර එම ඓතිහාසික වගකීම මනාව ඉටු කර ඇති බවට මෙම ඉතිහාසය සාක්‍ය දරයි . එසේම රටක ජන ජීවිතය සුරක්ෂිත කොට සමාජ සංස්ථාවන්ගේ යහ පැවැත්ම තහවුරු කිරීම රාජ්‍ය පාලකයාගේ වගකීම බවද අවධාරණය කරනු කැමැත්තෙමු .
එහෙත් සමස්ත සමාජය සදාචාරාත්මක පරිහානියට ඇද දමන පුද්ගලයාගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය මෙන්ම ආධ්‍යාත්මික පරිහානියට ඍජු හේතුවෙන මෙවන් අගතිකාරී සමාජ පරිහානියට තුඩුදෙන කෙටුම්පත් සම්මත කිරීමට මෙරට රජය ඇතුළ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් උත්සාහ දරන්නේ නම් ඒ පිළිබඳ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ලෙස අපගේ බලවත් අප්‍රසාදය හා විරෝධය පළ කර සිටින අතර එය මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් විසින් මෙරට සංස්කෘතික හර පද්ධතියට සිදුකරන බලවත්ම හානියක් බව සංවේගයෙන් යුතුව අවධාරණය කර සිටිමු .
බෞද්ධ දාර්ශනික හර පද්ධතීන්ගේ විශිෂ්ඨතාව හා එහි ප්‍රායෝගික භාවිතය තිරසර සමාජ සංවර්ධනයට හේතුවන ආකාරය පිළිබඳව නිරන්තර අදහස් ප්‍රකාශ කරන ගරු ජනාධිපතිතුමන් මෙන්ම දේශයේ සංස්කෘතික උරුමය හා සමාජ පද්ධතීන්ගෙන් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන මහජන නියෝජිතයින් මෙම අප්රතිකාරි, සදාචාර විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර අවශ්‍ය පියවර ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු . යනුවෙන් එහි සඳහන්ය .