සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් 292දෙනෙකුගේ පුරප්පාඩු පැවතීම නිසා අධ්‍යයන කටයුතුවලට ගැටලුකාරී තත්ත්වයක් උදා වී ඇතැයි සබරගමු ශිෂ්‍ය සංගමයේ සභාපති කිෂ්ණක නෙරන්ජින් පැවසීය.
මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, විශ්වවිද්‍යාලයේ අටදහස් පන්සියයක් වන සිසුන්ට අධ්‍යයන කාර්යමණ්ඩලයේ හිඟය මෙන්ම, නේවාසික ගැටලුද තදින්ම බලපා ඇති බවයි.
සිසුන් 4500කට පමණ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම් නොමැති බවත්, මෙයට විසඳුමක් ලෙස නේවාසිකාගාර සංකීර්ණයක් ඉක්මනින් ඉදිකළ යුතු බවත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.
ග්‍රාමීය ප්‍රදේශයක සබරගමු විශ්වවිද්‍යාලය පිහිටා තිබෙන නිසා පිටතින් නේවාසිකාගාර සොයා ගැනීමේදී ගැටලුසහගත තත්ත්වයක් උදා වී ඇතැයිද ඉදිරියේදී මෙම ප්‍රශ්නයට බලධාරීන් මැදිහත් විය යුතු බවද මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පැවසීය.
සබරගමු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ආචාර්ය මහාචාර්ය හිඟය 36ක් බවත්, සමාජ පීඨවල 13ක්, ව්‍යවහාරික විද්‍යා පීඨයේ 70ක්, භූ විඥාපන පීඨයේ 28ක්, කෘෂි විද්‍යා පීඨයේ 18ක්, තාක්ෂණ පීඨයේ 63ක් සහ පරික්ෂණය පීඨයේ 64ක් ලෙස ආචාර්ය මහාචාර්ය හිඟයක් පවතින බවද මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පැවසීය.
මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකරද්දි, භූ විඥාපන, තාක්ෂණික, පරිගණක සහ කෘෂිකර්ම පීඨවල සිසුන් ප්‍රායෝගික පරීක්ෂණ ගැටලුවට ලක්ව ඇතැයිද මහා ශිෂ්‍ය සංගමය පවසයි.
විශ්වවිද්‍යාලයේ සිසුන්ට ක්‍රීඩා පහසුකම්වලද බරපතළ ප්‍රශ්න ඇති අතර, වොලිබෝල්, බාස්කට් බෝල්, දැල්පන්දු ක්‍රීඩා කිරීමට ක්රීඩාගාර නොමැති බවත්, පිහිනුම් තටාකයද නිසියාකාරව නොමැති බවත් සබරගමු මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීහු මෙහිදී පැවසූහ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් අතර සෞඛ්‍ය ගැටලු දිනෙන් දින ඉහළ යමින් තිබෙන බවත්, විශ්වවිද්‍යාලය තුළ ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් නොමැති වීම විශාල ගැටලුවක් බවද ශිෂ්‍ය සංගමය කියයි.
අධ්‍යයන වර්ෂ හතර තුළදීම සබරගමුව විශ්වවිද්‍යාලය තුළ ඉගෙන ගන්නා විද්‍යාර්ථීන් සඳහා ලබා දෙන මූලික පහසුකමක් වන නේවාසිකාගාර පහසුකම් (2022/2028) අධ්‍යයන වර්ෂයේ සිට කප්පාදු කිරීම තරයේ හෙළා දකින බවද මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීහු පැවසති.
විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු බලධාරීන්ට ලිපි මගින්ද සාකච්ඡාවලදීද මෙම කරුණු පෙන්වා දී ඇතැයිද මහා ශිෂ්‍ය සංගමය කියයි.
රතනපුර ලසන්ත නිරෝෂණ පෙරේරා