රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ඉවත් කර ගන්නා ලෙසත්, තමන් දැනටමත් එම කටයුත්ත ඉටු කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට පැවසීය.
අනෙක් නායකයන් වේදිකාවල පොරොන්දු දී යන විට, තමන් සෑමවිටම වේදිකාවට පැමිණියේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කර බව පැවසු ජනාධිපතිවරයා අද මෙලෙස වේදිකාවට පැමිණ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ බව තමන්ට ප්‍රකාශ කිරීමට හැකිවනු ඇතැයි මීට වසර දෙකකට පෙර කිසිවෙකු නොසිතු බවද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පැල්මඩුල්ල සතිපොළ භූමියේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන
රැලිය අමතමිනි.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබු මෙම ජන හමුවට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.
ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සජිත් ප්‍රේමදාසට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවයි. ඔවුන් කරන්නේ මනමේ කුමරිය මෙන් අනුර කුමාරට අත දීම බව පැවසු ජනාධිපතිවරයා එය කිරීමට ඉඩ නොදෙන ලෙස තමා එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.