හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක මහතාට අයත් තලංගම කලල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් පුද්ගලයකු සොරාගත් භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තලංගම උතුවන්කන්ද ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි.
මෙම පුද්ගලයා ඉකුත් ජුනි 22 දා රාත්‍රි සචිත්ර සේනානායක මහතාගේ නිවසට ඇතුළු වී එහි තිබූ ලැප් ටොප් යන්ත්‍රයක්, ටැබ් යන්ත්‍ර 02, වටිනා අත් ඔරලෝසු පහක් ,අත් පලදනා හතරක් , කනේ පළඳින මුදු දෙකක් රුපියල් දස දහසක මුදලක් සොරාගෙන තිබූණි.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව තලංගම පොලිසිය විමර්ශනයක් සිදුකරමින් සිටින අතරතුරදි කොට්ටාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතා වෙනත් රාජකාරී කටයුත්තක් සඳහා යමින් සිටියදී වෑකඩ ප්‍රදේශයේ අතුරු මාර්ගයක රැඳී සිටි පුද්ගලයෙකු පැමිණ සිටි යතුරුපැදිය පරීක්ෂා කිරීමේදී එහි කැබියේ තිබී වෙස් මුහුණක්, නියනක්, කටරඩුවක්, ඇතුළු ආයුධ කට්ටලයක් තිබී හමුවීමත් සමඟ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මොහු සොරකමක් සඳහා යමින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමේදී හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක මහතාගේ නිවස බිඳ දේපළ සොරා ගැනීමේ සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අනුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී රුපියල් 50,30,000 වටිනා ඉහත භාණ්ඩ තොගය සොයාගෙන තිබූ අතර සොරා ගත් ටැබ් යන්ත්‍රයක් තලංගම ප්‍රදේශයේ ඇල මාර්ගයකට විසිකර දමා ඇති බවත් සොරාගත් රුපියල් දස දහසක මුදලින් අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවත් අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර කොට්ටාව පොලිස් වසමේ නිවාස පහක් බිඳ දේපොළ කොල්ලකෑම හා මහරගම තලංගම පොලිස් වසන්වල දේපළ කොල්ලකෑමේ සිද්ධීන් රැසකට බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටින්නෙකි.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න