ඉදිරි මාස 6 තුළ සංචාරක කර්මාන්තයේ නියැළුනු අයගේ වැටුප් දීමනා ලබා දීමට සැලැස්මක් සකස් කළ යුතු බවත්, එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසු ලබා දුන් සියලුම සහන ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ, සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීමට මූල්‍ය පහසුකම් ලබා දිය යුතු බවත්, ලබා දෙන පොළී සහන, ණය සහන ක්‍රියාත්මක කිරීමේදී වසර 5 ක කාල වකවානුවක් කේන්ද්‍ර කරගනිමින් එම සහන ලබා දීමට කටයුතු කළ යුතු බවයි.
"සංචාරක කර්මාන්තයේ සෘජු රැකියා දෙලක්ෂ පනස්දාහක් ක්‍රියාත්මක වෙනවා. වක්‍ර රැකියා තවත් දෙලක්ෂ පනස්දාහක් ක්‍රියාත්මක වෙනවා. මුළුමනින්ම සංචාරක කර්මාන්තය තුළ ලක්ෂ පහක් රැකියා කරනවා. ඒ අයගේ පවුල් සංස්ථාව ගත් කළ සංචාරක කර්මාන්තයෙන් මුළුමනින්ම ලක්ෂ 20 ක් යැපෙනවා.
මේ සංචාරක කර්මාන්තයේ විශේෂයෙන්ම හෝටල් ජාලය දිහා බැලුවම විවිධ සැපයුම් දම්වැල් සැපයුම් ජාල හරහා එළවලු ගොවියන් පළතුරු ගොවියන් මත්ස්‍ය කාර්මිකයන්, ධීවර කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන් ඇතුලු තවත් විශාල සැපයුම් ජාලයකුත් ක්‍රියාත්මක වෙමින් ඒ ඒ ජන කොට්ටාශ වල ජීවිකාව කරගෙන යාමට සංචාරක කර්මාන්තය දැවැන්ත දායකත්වයක් ලබා දෙනවා.
අද වන විට කොරෝනා ආසාදනය තුලින් මුළු මහත් සංචාරක කර්මාන්තයම සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වෙලා තියෙනවා. සංචාරක කර්මාන්තයේ නියැළුනු බොහෝ දෙනා අසහනයෙන් පීඩනයෙන් ජීවත් වෙන කාල වකවානුවක්. මේ කාලවකවානුව තුළ අපි විශ්වාස කරනවා සක්‍රීය රාජ්‍ය මැදිහත් වීමක් ක්‍රියාත්මක වෙලා මේ සංචාරක කර්මාන්තය ගොඩනගන්නට කටයුතු කරන්නට ඕනේ කියලා.
විශේෂයෙන්ම ඉදිරි මාස 6 තුළ මේ සංචාරක කර්මාන්තයේ නියැළුනු අයගේ වැටුප් දීමනා ගණනය කරලා තිබෙනවා රුපියල් බිලියන 6 ක් හැටියට. එය ලබා දෙන්නට අපි සැලැස්මක් සකස් කරන්නට ඕනේ. ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් පසුව ලබා දුන්නු සියලුම සහන තව දුරටත් ඉදිරියට පොළී සහන ණය සහන, ඒ වගේම නැවත ගෙවීමේ කාලවකවානු සහන, ඒ සියල්ලක්ම ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම අපේ යුතුකම වගකීම වෙලා තියෙනවා.
ඒ වගේම අලුතෙන් ගොඩ නැගෙන්නට මේ සංචාරක කර්මාන්තයට අපි මූල්‍ය පහසුකම් ලබා දෙන්නට ඕනේ. මූල්‍ය ද්‍රවශීලීතාවය වර්ධනය කරන්නට අපි ශක්තියක් ලබා දෙන්නට ඕනේ. ඒ වගේම සහන ණය, පොළී සහන. ඒ වගේම ඒ පොළී සහන ණය සහන ක්‍රියාත්මක කිරීමේදී වසර 5 ක කාල වකවානුවක් කේන්ද්‍ර කරගෙන අපි ඒ සහන ටික ලබා දෙන්නට කටයුතු කරන්නට ඕනේ. අපි විශේෂිත වූ මූල්‍ය උත්තේජකයක් ලබා දෙන්නට ඕනේ මේ සංචාරක කර්මාන්තය ගොඩ ගන්න.
විශේෂයෙන් මේ කර්මාන්ත සංචාරකයේ නියැලෙන සංචාරක පොඩ්ඩො නමින් හඳුන්වන කොටසක් ඉන්නවා. මේ තමයි සුළු හා මධ්‍යම පරිමානයේ කර්මාන්තකරුවන්. ඒ වගේම සංචාරක කර්මාන්තයේ කුඩා පරිමානයේ සේවාවේ නිරත වී සිටින නියමුවන් , ඒ වගේම ජීප් කර්මාන්තය, ඒ වගේම සංචාරක ක්ෂේත්රයේ නිරත වූ මග පෙන්වන්නන්. මේ කියන සංචාරක පොඩ්ඩන් වෙනුවෙන් පොලී රහිත ණය ලබා දීලා ඒ අයගෙ ජන ජීවිතය ශක්තිමත් කරන්න අපිට පුළුවන් වුණා පාස්කු ප්‍රහාරයෙන් පසුව. අපි යෝජනා කරනවා ඒ සංචාරක පොඩ්ඩො වැඩසටහන තව දුරටත් ක්‍රියාත්මක කරන්න කියලා.
දැනටමත් ලබා දීල තියෙන සහන පිළිබඳව අපි ස්තූති වන්ත වෙනවා. එනමුත් සංචාරක ක්ෂේත්රයේ වැඩි දියුණුව උදෙසා කඩා වැටුණු සංචාරක ක්ෂේත්රය ගොඩ නගන්න අපි මේ යෝජනා කරන විශේෂිත වූ සහන පැකේජය ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරලා නැවත වරක් අපේ සංචාරක කර්මාන්තය ගොඩ නැගීමේ ඒ මූලාරම්භය ඒ අඩිතාලම දමන්නට රජය කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා." යනුවෙන් ද සඳහන් කළේය.