ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සමඟ ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවේ අවසන් කෙටුම්පත අද (05) ජිනීවාහි 51 වැනි ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කළේය.
‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ යන තේමාවෙන් යුත් යෝජනාවලියට එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ජර්මනිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව ඇතුළු රටවල මූලිකත්වයෙනි.
ඒ් සඳහා මේ වන විට ඇල්බේනියාව, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, කැනඩාව, චෙච්නියා, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ලැට්වියාව, ලිච්ටෙන්ස්ටයින්, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මාෂල් දූපත්, නෙදර්ලන්තය, නෝර්වේ, ස්ලෝවැකියාව, ස්වීඩනය හා නවසීලන්තය යන රටවල් ද සහාය දක්වා තිබේ.
සංහිඳියාවේ සහ වගවීමේ ප්‍රගතිය සහ ආර්ථික අර්බුදයේ හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව ඇතිකර තිබෙන තත්ත්වය පිළිබඳ අධීක්ෂණය සහ වාර්තා කිරීම වැඩිදියුණු කරන ලෙස යෝජනාව මගින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටී.
එසේම මේ වසරේ අප්‍රේල් මාසයේ සිට සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය සහ අත්අඩංගුවට ගැනීම් මෙන්ම රජයේ ආධාරකරුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය, මරණ, තුවාල, දේපළ විනාශය සහ මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට හානි සිදුවීම ඇතුළු මානව හිමිකම් වර්ධනයන් පිළිබඳව ද නව යෝජනාවෙන් සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බරපතළ උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපාය මාර්ග සකස් කිරීම සහ තොරතුරු සහ සාක්ෂි රැස් කිරීම, ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය සහ සංරක්ෂණය කිරීම සඳහා මහ කොමසාරිස් කාර්යාලයේ ධාරිතාව පුළුල් කිරීමට සහ ශක්තිමත් කිරීමට ද යෝජනාවෙන් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ඡන්ද විමසීම අද ( 6) පැවැත්වෙයි. මෙම යෝජනාව පරාජයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකාවට ජය ගැනීමට ඇත්තේ අවම අවස්ථාවකි.
මේ අතර මානව හිමිකම් සැසිවාරයට එක්වීම සඳහා ජිනීවා වෙත ගොස් සිටින විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ජිනීවා නුවර සිට මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ යුක්තිය සහ සංහිඳියාව තහවුරු කිරීම සඳහා දේශීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් පිහිටුවන බවයි.
එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවත් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කරමින් ත්රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම සඳහා නව ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතියක් හඳුන්වා දෙන බවද ඔහු සඳහන් කළේය.
" මේ යෝජනාවලියේ 8 වන ඡේදයට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. එහි සඳහන් කරන්නේ වින්දිතයින් වෙනුවෙන් පෙනීසිටීම හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල ඇතුළුව සිදුවන අධිකරණමය හා වෙනත් ක්‍රියාදාමවලට සහාය දැක්වීම. ඒක තමයි මේකෙ භයානකම කොටස. මේකෙන් අදහස් කරන්නේ, ඔවුන් කියන ආකාරයට මානුෂික මෙහෙයුමේදී ලංකාවේ සිදුවුණා යැයි කියන යම් යම් දේවල් සම්බන්ධව ලංකාවේ අධිකරණ ක්‍රියාදාමයෙන් එළියට ගිහිල්ලා පිටරටවල නඩු දාලා දඬුවම් කිරීම.
මේ හදන්නේ ඉලක්ක කරලා කරදර කරන්න. මේ ක්‍රියාදාමයට අපිට එකඟ වෙන්න බැහැ. පිටරටවල නඩු අහන එක, විදේශ විනිසුරුවරුන් ලංකාවට එන එක ලංකාවේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක්." යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම මානව හිමිකම් කොමිෂම තුළ සාමජිකයන් 47ක් සිටින බවත් එයින් සාමාජිකයන් 30ක් අදාළ යෝජනාව සමග සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. "යථාර්තවාදී ලෙස මේ බලගතු රටවල් එක්ක සටන් කිරීම අපිට අමාරුයි." යැයි ඔහුද මේ බව පැවැසීය.