ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා යාමේදී පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු කසළ එම ප්‍රදේශයට බැහැර කිරීමෙන් වැළකී සිටින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.
මෙවර ශ්‍රී පාද වන්දනා සමය 2024 දෙසැම්බර් මස 14 වන දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ආරම්භ වන අතර 2025 වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් අවසන් වේ. සාමාන්‍යයෙන් බැතිමත්හු විශාල සංඛ්‍යාවක් ශ්‍රී පාදය කරුණා කිරීම සඳහා මෙම කාල සීමාවේ දී ශ්‍රී පාදස්ථානය වෙත පැමිණෙති. ශ්‍රී පාදස්ථානය පිහිටා තිබෙන්නේ සමනල ස්වභාව රක්ෂිතයෙහි ය.
යුනෙස්කෝ සංවිධානය 2010 වර්ෂයේ දී ලෝක උරුමයක් ලෙස නම් කර ඇති මෙම ස්වභාව රක්ෂිතය ඉතා සංවේදී පරිසර කළාපයක් ලෙස හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවට ආවේණික ශාක වැඩී තිබෙන මෙම අභය භූමියෙහි ශ්‍රී ලංකාවට ආවේණික සත්තු ද වාසය කරති. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා ආරම්භවන ජල මූලාශ්‍ර සමනල ස්වභාව රක්ෂිතයෙන් ආරම්භ වේ.
මෙම සංවේදී පරිසර කලාපය රැකගැනීම අප සැමගේ යුතුකමක් සහ වගකීමකි. පොලිතීන් ප්ලාස්ටික් හෝ කසළ මෙම ප්‍රදේශයට බැහැර කිරීම මගින් මෙම සංවේදී පරිසර කලාපයේ පවතින සුවිශේෂී ජෛව විවිධත්වයට හානි සිදුවේ. එලෙසම, ජල මූලාශ්‍ර අපවිත්‍ර වේ. තවද, මෙම අපද්‍රව්‍ය ජල මූලාශ්‍ර ඔස්සේ ගසාගෙන ගොස් රටපුරා ගංගා ඇළ දොළ අපවිත්‍රවනවා සේම අවසානයේ එම අපද්‍රව්‍ය සාගරයට ද එක්වේ.
පරිසරය සුරැකීමේ වගකීම අප සියලු දෙනාගේ ම සාමූහික වගකීමක් වන අතර එය හුදෙක් රාජ්‍ය හෝ පෞද්ගලික හෝ ආයතන මත පමණක් පැවරීම මගින් සාර්ථකත්වයක් අත්කර ගැනීම අපහසුය. එබැවින්, ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා පැමිණෙන විට පොලිතීන් ප්ලාස්ටික් රැගෙන නොඑන ලෙසත් යම් හෙයකින් පොලිතීන් ප්ලාස්ටික් ඇසුරුම් හෝ බහාලුම් භාවිත කිරීමට සිදුවුවහොත් භාවිතයෙන් පසු ජනනය වන කසළ මෙම සංවේදී පරිසර කළාපයට අවිධිමත්ව මුදා නොහරින ලෙසත් මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.
එලෙසම, ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණෙන විට යම් හෙයකින් කසළ ජනනය වන්නේ නම් එම කසළ තම නිවෙස්වලට ගෙනයාමට හෝ ශ්‍රී පාදස්ථානයට ගමන්කළ හැකි ප්‍රධාන පිවිසුම් මාර්ගවල ආරම්භයේ (එනම් නල්ලතන්නි මාර්ගය සහ රත්නපුර දෙසින් ඇති මාර්ග දෙකෙහි) පළාත් පාලන ආයතන, පෞද්ගලික ආයතන සහ ස්වෙච්ඡා සංවිධාන මගින් ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් පවත්වාගෙන යන කසළ එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත භාරදීමට හෝ කටයුතු කරන ලෙස ද සියලු බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය තවදුරටත් කාරුණිකව ඉල්ලා සිටියි.