පවතින වැසි තත්ත්වයත් සමග වී අස්වනු නෙළන යන්ත්‍ර සඳහා අය කරන මුදල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත්, වී කිලෝවක ගැනුම් මිල අඩු වී තිබෙන බවත් ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.
පැවැති වැසි හා සුළං තත්ත්වය නිසා ඇතැම් ප්‍රදේශවල ගොයම් බිමට ඇදවැටී තිබෙන බවත්, මේ නිසා 10%ත් 15%ත් අතර ප්‍රමාණයකින් අස්වනු හානියක්ද සිදුව තිබෙන බව එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
මහ වාරි කලාපවල අස්වනු මේ වන විට වෙළඳ පොළට පැමිණෙමින් තිබෙන බවත්, වැසි තත්ත්වය නිසා නාඩු වී කිලෝවක ගැනුම් මිල රුපියල් 115 දක්වාත්, කීරි සම්බා වී කිලෝවක ගැනුම් මිල රුපියල් 125 දක්වාත් පහත වැටී තිබෙන බවද පැවසීය.
වැසි ඇති වීමට පෙර නාඩු වී කිලෝවක් රුපියල් 130ක මුදලකටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140 ඉක්ම වූ මුදලකටත් මිලදී ගත් බවද සඳහන් කළේය.
සාමාන්‍ය තත්ත්වයන් තුළ අක්කරයක අස්වනු නෙළීම සඳහා යන්ත්‍රවලට අයකර ගත්තේ රුපියල් විසිදහසත් රුපියල් විසිදෙදහසත් අතර මුදලක් බවද සඳහන් කළේය.
මේ වන විට ඇතැම් ප්‍රදේශවල අක්කරයක අස්වනු නෙළීම සඳහා රුපියල් විසිපන්දහසත් රුපියල් තිස්දහසත් අතර මුදලක් අයකරන බවත්, වැසි තත්ත්වය නිසා යම් මුදලක් ඉහළ යාම සාධාරණ වුවත් අධික ලෙස මිල ඉහළ යාම ගොවිජනතාවට දරාගත නොහැකි බවද පැවසීය.
වැසි තත්ත්වය නිසා සිදුවන වගා හානි නිසා හා වී සඳහා නිසි මිලක් නොලැබීම හා යන්ත්‍ර සඳහා වියදම් කළ යුතු මුදල ඉහළ යාම නිසා ගොවීන්ට සැලකිය යුතු පාඩුවක් සිදුවන බවත්, වගාවන් ආරම්භ අවස්ථාවේදී පවා ඇතැම් ප්‍රදේශවල වගාවන්ට හානි සිදුවූ බවද සඳහන් කළේය.