වී කිලෝවක් නිෂ්පාදනය කිරිමට යන වියදම සැලකිල්ලට ගනිමින් මෙවර යල කන්නයේ වී කිලෝවක් සඳහා රුපියල් 150 ක සහතික මිලක් රජය මගින් ජනාධිපතිවරණයට පෙර නියම නොකළොත් , පොළොන්නරුව ඇතුළු මහවැලි බි කළාපයේ ගොවි ජනතාව දැවැන්ත ගොවිජන අරගලයක් ක්‍රියාත්මක කරන බව මහවැලි බි කලාපයේ සෙවණපිටිය කොට්ඨාශයේ ගොවි සංවිධාන 21 ක නියෝජිතයින් 29 වෙනිදා පෙරවරුවේ සෙවනපිටිය වෙල් යායේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළහ.
මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙළෙමින් පවතින අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පෞද්ගලික වී මෝල් හිමියන් තමන්ගේ වී අ ස්වනු තුට්ටු දෙකට ලබා ගනිමින් පවතින බවත් කිසිදු ස්ථානයක රජය මගින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවත් , වහාම රජය මැදිහත් වි ගොවියාගේ වී අස්වනු සහතික මිලකට හෝ සාධාරණ මිලකට වී ලබා ගැනීමෙ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී සංවිධාන නියෝජිතයින් රජයෙන් ඉල්ලීමක් කළහ.
මහවැලි බි කලාපයේ සෙවණපිටිය කොට්ඨාශ ගොවි සංවිධාන සභාපති, අසංක සංජීව මහතා මෙම මාධ්‍ය හමුව සංවිධාන කර තිබු අතර මෙම අවස්ථාවට ගොවි සංවිධාන 21 ක නියෝජිතයන් පැමිණ අදහස් දැක්වූහ.
පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් මේ වන විට කීරි සම්භා මිලදී ගැනීමෙන් වැලකී සිටින අතර, නාඩු හා සම්බා වි කිලෝ වක මිල රුපියල් 100 දක්වා වී මෝල් හිමියන් පහළ දමා ඇති බැවින් තම වි නිෂ්පාදන සාධාරණ මිලකට ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද ගොවි සංවිධාන නියෝජිතයින් මෙහිදී සඳහන් කළහ.
දින තුනක් ඇතුලත රජය වී කිලෝවක සහතික මිල රුපියල් 150 ක් බවට පත් නොකළහොත් මහවැලි බි කලාපයේ සියලු ගොවි සංවිධාන එක්ව සෙවණපිටිය නගර මධ්‍යයේ දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක කරන බව සෙවනපිටිය කොට්ඨාස ගොවි සංවිධාන සභාපති අසංක සංජීව මහතා මෙහිදී සඳහන් කළේය.
මෙවර යල කන්නයේ වි නිෂ්පාදනය සඳහා ප්‍රමිතියෙන් තොර වල් නාශක සහ කෘමි නාශක, මෙන්ම පොහොර ලබා දී තිබෙන බවත්. ඒ තත්ත්වය අනුව අක්කර දෙකහමාරකින් තමන් අපේක්ෂා කළ වී අසන ලබා ගැනීමට නොහැකි වී ඇති බවත්, එවැනි තත්ත්වයන් මත තවත් අමතර වියදම් දරමින් කෘමි නාශක, හා වල්නාශක අවස්ථා කිහිපයකදී යෙදීමට සිදු වු බවද ගොවි සංවිධාන නියෝජිතයින් මෙහිදී අවධාරණය කළහ.
සාමාන්‍යයෙන් අක්කර දෙකහමාරකින් වී කිලෝ 5000ක් පමණ ලැබෙන බවත්, එම වී කිලෝ 5000 රුපියල් 100 බැගින් අලෙවි කිරීමට සිදුවුවහොත් සම්පූර්ණ කුඹුරකින් ලබාගැනීමට හැකිවන්නේ රුපියල් ලක්ෂ 5 පමණ මුදලක් බව ද ගොවීන් සඳහන් කළහ.
මෙවර යල කන්නයේ අක්කර දෙකහමාරක කුඹුරක අස්වනු නෙළීම සඳහා භූතයා, හා සුනාමිය යන යන්ත්‍ර , සූත්‍ර වලට රුපියල් 45,000ක් 50,000 මුදලක් ගෙවීමට සිදුවන බවත්, මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන රජය වහාම වී කිලෝවකට රුපියල් 150 ක මිලක් කඩනිමින් නියම කරන ලෙසද මහවැලි බි කලාපයේ සෙවනපිටිය කොට්ඨාශ ගොවි සංවිධාන 21 ක ගොවි නියෝජිතයින් සහ ගොවිහූ මෙහිදී ඉල්ලීමක් කළහ.
මෙවර යල කන්නයේ වී කිලෝවක් සඳහා සහතික මිල නියම නොකළහොත් ඉදිරියේ පැවත්වන ජනාධිපතිවරණයේදී ගමට කිසිදු නියෝජිතයකුට පැමිණීමට ඉඩ නොදෙන බවත්, ඊට පෙර වී කිලෝවකට රුපියල් 150 ක මිලක් නියම කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් මෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටන බවද ගොවි නියෝජිතයින් සඳහන් කළහ.
මෙවර මහවැලි බි කලාපයේ ගොවි පවුල් 25,000 ක පිරිසක් කුඹුරු 65,000 කට වැඩි ප්‍රමාණයක් වී වගා කොට තිබේ.
මනම්පිටිය නිමල් ජයරත්න