සමාජ මාධ්‍ය ඔස්සේ බුදු දහමට අපහාසවන ආකාරයේ යළි ප්‍රකාශ සිදුකළ විශ්ව බුද්ධ නැමැති පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් යළි අත්අඩංගුවට ගෙන අද (21) නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා නියෝග කළේය.
ඒ මින් පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටියදී ඇප කොන්දේසි කඩකරමින් යළිත් වරක් අන්තර්ජාලය ඔස්සේ බුදු දහමට අපහාස කිරීම හේතුවෙන් අධිකරණ නියෝග මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
විශ්ව බුද්ධ නමින් තමාව හඳුන්වාගනිමින් සමාජ මාධ්‍යජාලා ඔස්සේ බුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ චීවරධාරියෙකු සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි කථාබහක් නිර්මාණය වුණා.
ඔහු ඇතැම් අවස්ථාවලදී ගිහියෙකු ලෙස ද සැරසී සාමාජ මාධ්‍යට විවිධ වීඩියෝ නිකුත්කර තිබුණා.
ඒ අනුව බුදු දහමට අපහාසවන අයුරින් හැසිරීම හා ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව පසුගියදා ඔහු අත්අඩංගුවට ගැණුනා.
අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු පසුව ඇප මත මුදා හැරුණා.
එම සිදුවීමත් සමඟ රත්නපුර විමල බුද්ධි හිමි හෙවත් සැකකරු ශිෂ්‍යභාවයෙන් හා නිකායෙන් නෙරපීමට රාමාඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව ඉකුත් වසරේ දෙසැම්බර් මස 15 වෙනිදා ඒකමතිකව තීරණය කර තිබුණා.
ඒ ඔහු පැවිදි කරවූ පූජ්‍ය උරුවල විනීත හිමියන් සිදුකළ ඉල්ලීමක්ද සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව, රාමාඤ්ඤ මහා නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල මහනාහිමියන් ඒ බව බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දැනුම්දී තිබෙනවා.
එවන් පසුබිමක, ඇප මත මුදාහැර සිටි ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඊයේ පස්වරුවේ යළි අත්අඩංගුවට ගත්තේ කළගෙඩිහේන තිහාරිය ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදීයි.
ඒ ඇප මත මුදා හැර සිටියදී ඇප කොන්දේසි කඩවන අයුරින් තවදුරටත් අන්තර්ජාලය ඔස්සේ බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.
