හැකිනම් තමන් සමග විවාදයකට එන්නැයි පාර්ලිමේන්තු මන්තී උදය ගම්මන්පිල මහතා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට අභියෝග කළේය. ගම්මන්පිල මහතා මෙම අභියෝගය කළේ අද (08්) පාර්ලිමේන්තුවේ පැවති ඛණිජතෙල් නිෂ්පාදන (විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබද විවිාදයට එක් වෙමිනි.
"පසුගිය අවුරුද්දේ ආණ්ඩුව මහ බැංකුව ස්වාධීන කළ යුතුයි කියලා පනතක් ගෙනාවා. මහ බැංකුව මහජනතාවට වෙනුවට ජාත්‍යන්තරයට වග කියන ආයතනයක් වෙන බව අපි දැක්ක නිසා අපි ඒකට විරුද්ධ වුණා. නමුත් විපක්ෂයේ බහුතරය ඒකට හුරේ දැම්මා. මේක පාර්ලිමේන්තුවේ බේරා ගන්න බැරි බව තේරුණු නිසා අපි අධිකරණයට ගිහිල්ලා සංශෝධන 72ක් නිර්දේශ කර ගත්තා. ඒ සංශෝධනත් කර ගත්තේ නැතිනම් මහ බැංකුව නූල කැඩුණු සරුංගලයක් වෙන්න තිබුණා. හැමෝම මහ උජාරුවට කතා කරන ස්වාධීනත්වය ලබා දුන්නාම ඒ අය මොකද කලේ? ලංකාවේ කිසිම ආයතනයක නොකළ ආකාරයකට ලක්ෂ ගණනින් වැටුප් වැඩි කර ගත්තා.
ශ්‍රී ලංකා මහ බැංකුව දිගින් දිගටම පාඩු ලබන අතරේ තමයි ලක්ෂ ගණනින් වැටුප් වැඩි කර ගත්තේ කියන එක මම පසුගිය 6දා මාධ්‍ය හමුවක් තියලා රටට දැනුම් දුන්නා. 2023 මහ බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වසරේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 114ක්. 2022 වසරේ ශුද්ධ අලාභය බිලියන 374ක්. මහ බැංකුව ලංකා ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩි වීම ලබා දෙන්නේ ආයතනය අඛණ්ඩව වසර ගණනාවක් බිලියන ගණනින් පාඩු ලබන අවස්ථාවකයි.
ඊයේ මහ බැංකු අධිපතිතුමා මාධ්‍ය හමුවක මට ප්‍රතිචාර දක්වමින් කිව්වා මහ බැංකුව තිබෙන්නේ ලාභ ලබන්න නොවේ ආර්ථික ස්ථාවරත්වය හදන්න. ලාභ පාඩු මත මහ බැංකුව සාර්ථක ද අසාර්ථක ද කියලා තීරණය කරන්නේ අවබෝධයක් නැති අය කියලා. මහ බැංකු අධිපතිවරයා ඉතාම නින්දිත අයුරින් දේශපාලකයෙකුවත් නොකරන අයුරින් මගේ ප්‍රකාශය තමන්ට වාසි වන අයුරින් වෙනස් කරගෙන තමන් හදා ගත්තු ප්‍රකාශයට පිලිතුරු දීලා මම ඇත්තටම මතු කළ කාරණයට පිලිතුරු දීම මග හරිනවා.
මම එතුමාට ආරාධනා කරනවා මගේ කතාව සාවධානව ඇහුම්කන් දෙන්න කියලා. පාඩු ලැබීම නිසා මහ බැංකුව ආයතනයක් විධියට අසාර්ථකයි කියලා මම කොතැනවත් කියලා නෑ. මහ බැංකුව තිබෙන්නේ ලාභ උපයන්න නොවේ. ඒ ගැන විවාදයක් නෑ. නමුත් ලක්ෂ ගණනින් වැටුප් වැඩි කර ගෙන ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩි කිරීම කර ගත්තේ දිගින් දිගටම පාඩු ලබන වාතාවරණයකයි කියලායි මම කිව්වේ.
මහ බැංකුව පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා ද කියා එතුමාට බලා ගන්න අවශ්‍ය නම් මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම හෝ වත්මන් ආර්ථික අර්බූදයට මහ බැංකුව නිර්දේශ කරන විසඳුමේ සාර්ථකත්වය පිලිබඳ මා සමග විවාදයකට එන්න කියා මම එතුමාට අභියෝග කරනවා.