අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගත් බවට චෝදනා කරමින් අසත්‍ය කරුණු මත පදනම්ව ද්වේශ සහගතව නඩු පැවරීමෙන් තම කීර්ති නාමයට වු හානියට රුපියල් කෝටි 100ක වන්දියක් ආගමන හා විගමන නිලධාරීන්ගෙන් හා රජයෙන් අයකර දෙන්නැයි ඉල්ලමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ අද (12) නඩු පැවරීය.
නීතිඥ දිනේෂ් ද සිල්වා මහතා මාර්ගයෙන් විමල් වීරවංශ මහතා පැවරු මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරී එරංග රඹුක්වැල්ල, ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරී සුජීව රත්නායක මහත්වරු සහ නීතිපතිවරයා නම් කර ඇත.
2015 ඔක්තෝබර් 23 වැනිදා ඩුබායි හරහා ඉතාලියේ රෝමය බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි තමන් ඉදිරිපත් කළ රාජ්‍යතාන්තික විදේශ ගමන් බලපත්‍රය ආගමන හා විගමන නිලධාරීන් ගුවන් තොටුපළේ පරිගණක දත්ත පද්ධතියට යොමු කර පරීක්ෂා කර බැලීමෙන් පසු එය අක්‍රිය ගුවන් බලපත්‍රයක් බවට ප්‍රකාශය කළ බව සඳහන් කරන පෙත්සම්කරු විදේශ ගමන් බලපත්‍රය අක්‍රීය තත්වයේ තිබු බැවින් නව විදේශ ගමන් බලපත්‍රයක් එදිනම ලබාගෙන විදේශගතවීමට තැත් කළ බවද සඳහන් කළේය.
ඒ අවස්ථාවේදී කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හළ බව සඳහන් කරන පෙත්සම්කාර විමල් වීරවංශ මහතා තමන්ට එරෙහි නඩුව විභග කළ මීගමුව මහේස්ත්‍රාත්වරයා පසුගිය අප්‍රේල් පළමුවැනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කළ බවද සඳහන් කළේය.
සාධාරණ පරීක්ෂණයක් කිරීමකින් තොරව ද්වේශ සහගත ලෙස තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමෙන් තම කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි 100ක වන්දියක් අය කර දෙන්නැයි විමල් විරවංශ මහතා සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටී.