එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් සිදු වූ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමිවිය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව පිට යම් පුද්ගලයකු නෞකාව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250කට අධික පගාවක් රැගෙන ඇත්නම්, එතරම් බරපතළ අපරාධයක් තවත් ඇතැයි තමන් විශ්වාස නොකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.
ඒ් අනුව 'වහෙන් ඔරෝ' භාෂාවෙන් නොකියා එම බරපතළ අපරාධය සිදු කළ තැනැත්තාගේ නම කෙලින්ම රට හමුවේ පවසන ලෙස විමල් වීරවංශ මහතා, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අභියෝග කර සිටියි.
අද(23) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ අභියෝග කර සිටියේය.
"පසුගිය දිනක අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මැතිතුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. එමගින් කියැවුණේ, "එක්ස්ප්‍රස් පර්ල්" නැමැති නෞකාව විසින් සිදු කළ බරපතළ සමුද්‍ර දූෂණයට එරෙහිව වන්දි නඩුවක් නොපවරා සිටීමේ එකඟතාව ඇතිව කිසියම් පුද්ගලයකු ඩොලර් මිලියන 250කට අධික අල්ලසක් රැගෙන තිබෙන බවත් තමන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට එම මුදල තැන්පත් කළ ගිණුම් අංකය පවා පොලිස්පතිවරයාට ලබා දී තිබෙන බවත්.
අපි දන්නවා,"එක්ස්ප්‍රස් පර්ල්" නැවෙහි ඇති වූ ගින්නෙන් අපේ රටේ සාගර ජීවීන්ට සහ සමුද්‍ර කලාපයට බරපතළ අගතියක් සිදු වූ බව. අගතියේ ප්‍රමාණය කොපමණද, කියා තක්සේරු කළ නොහැකි මට්ටමේ අගතියක් එහිදී සිදු වුණා. එවැනි සංවේදී විනාශයක් පිළිබඳ ප්‍රශ්නයකදී මේ රටේ දේශපාලනඥයකු හෝ නිලධාරියකු හෝ ඒ නැව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250ක අල්ලසක් අරගෙන එම ප්රශ්නය යටගැසීමට හදනවා නම්, ශ්‍රී ලංකා රජයට හිමිවිය යුතු වන්දිය ලැබීම වැළැක්වීමට හදනවා නම් ඒ තරම් බරපතළ අපරාධයක් තවත් තිබෙනවා යැයි අපි විශ්වාස කරන්නේ නැහැ. අ
පි පළමුකොටම අධිකරණ අමාත්‍යවරයාට අභියෝග කරනවා, 'වහෙන් ඔරෝ' කියන්නේ නැතිව 'කවුද මේ පගාව ගත්තේ?' කියා කෙලින් රටට කියන ලෙස. 'එළියේදී' කියන්න බැරිනම්, අඩුම තරමින් හෙට අනිද්දා ඇරඹෙන පාර්ලිමේන්තු සතියේදී සභාගැබ තුළ ඒ අනාවරණය කරන්න. එවිට තමන්ට විරුද්ධව නඩු පැවරීමක් සිදු කරන්න බැහැ කියා අධිකරණ අමාත්‍යවරයා දන්නවානේ. පගාව ගත්තු කෙනාගේ නම හංගාගෙන, 'පගාව ලැබුණු ගිණුමේ අංකයත් මම දන්නවා. ඒක මම පොලිස්පති දුන්නා.' කිව්වාට වැඩක් නැහැ.
2021 මැයි 19 වැනිදා තමයි මේ නෞකාවේ ගින්න හටගෙන තිබෙන්නේ. 2023 මැයි 19 වැනිදාට පෙර මේ වන්දි ලබාගැනීමේ නඩුව අපි පැවරිය යුතුව තිබෙනවා. දැනට සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 50 වැනි වගන්තිය යටතේ මේ පිළිබඳව සැකකරුවන් 8 දෙනෙකුට විරුද්ධව මහාධිකරණයේ අපරාධමය නඩුවක් ගොනු කර තිබෙනවා. වන්දි ලබාගැනීමේ නඩුව නොපවරා සිටීමත් බරපතළ අපරාධයක්.
මෙම වන්දි නඩුව නොපවරනවා නම් එසේ කරන්නේ මේ ලබාගෙන ඇතැයි කියන පගාවටත් වඩා වැඩි පගාවල් තව කවුරුන් හෝ රැගෙන ඇති නිසයි. මේ පිළිබඳව බරපතළ පරීක්ෂණයක් අවශ්‍යයි. අපි නැවතත් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා, මේ සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස.
මෑත ඉතිහාසයේ මේ රටේ සිදු වූ බරපතලම පාරිසරික විනාශය මෙයයි. එවැනි තත්ත්වයක් මගහැර යෑමට කිසිසේත්ම ඉඩ දිය යුතු නැහැ. ඒ වගේම වන්දි ලබාගැනීමකින් තොරව මේ ප්රශ්නය යට ගැසීමට උත්සාහ කරනවා නම් ඊට එරෙහිව ගතයුතු හැම පියවරක්ම ගැනීමට පෙරට එන ලෙස අපි පොදු ජනතාවට ආයාචනය කරනවා."