විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.
විපක්ෂය යුක්තිය මෙහෙයුමට දැඩි ලෙස විරුද්ධ වූ බව පෙන්වා දුන් ඇමතිවරයා විපක්ෂය පොලිස්පතිවරයා ඉවත්කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ නිසා බවද අවධාරණය කරයි.
අද (25) පාර්ලිමේන්තුවේදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව විපක්ෂනායකවරයා සහ මැති ඇමතිවරු කීපදෙනෙකු පල කල අදහස් සම්බන්ධයෙන් අදහස් පලකරමින් ඇමතිවරයා මේ බව කීවේය.
විපක්ෂය වතු කම්කරු පඩි වැඩිවීම ගැන කතා නොකර පොලිස්පති ඉවත්කිරීමට පක්ෂව කතා කිරීමෙන් විපක්ෂයේ සැබෑ උවමනාව පැහැදිලි වන්නේ යැයිද ඇමතිවරයා කීවේය.
"මෙතන ජනාධිපතිතුමත්, කැබිනට් මණ්ඩලයත්, රජයත් අධිකරණය අපහසුතාවට පත්කරන විදිහට කටයුතු කරනවා කියලා මතයක් හදන්න උත්සාහ කරනවා. අපි පැහැදිළිව කියන්න ඕන ජනාධිපතිතුමා තමයි 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ල අධිකරණය ස්වාධීන කරන්න කටයුතු කළේ. ඒ විතරක් නොවෙයි කැබිනට් මණ්ඩලයත් රජයත් ඒකට ගරු කරනවා. ඒ නිසා එතන එහාට කතාකරන්න දෙයක් නැහැ. මේ කතාව එච්චරයි.
දෙවන කාරණාව ඊයේ ස්ටේට් ඕඩර්ස් තුනක් ගෙනල්ල තිබුණා. රජය මැදිහත් වුණානම් මැදිහත් වෙලා නවත්තන්න තිබුණා. එකක් පළාත් පාලන පත්වීම් සම්බන්ධවත්, වතු කම්කරුවන්ගේ පඩි සම්බන්ධවත් ස්ටේට් ඕඩර්ස් දෙකක් දීලා තියෙනවා.
හැබැයි දැන් උදේ වරුවම අපි කටයුතු කරන්නේ පොලිස්පතිගේ එක. මේක මීට පෙරත් මම කිව්වා විපක්ෂය හැමදාම මේ පොලිස්පතිවරයා යුක්තිය වැඩසටහන කරනකොට මේකට විරුද්ධයි. ඊයේ වැඩියෙන්ම සන්තොෂ වුණේ පාතාලයේ අය.
මේ විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය. ඒක තමයි මේගොල්ලන්ගේ උනන්දුව. නැතිනම් අනිත් දේවල් ගැනත් කතා කරන්න ඕනෙනේ. වතු කම්කරුවන්ගේ පඩි ගැනත් කතා කරන්න ඕනේනේ. ඒ නිසා වැරදි තැනකට මේ රට ගෙනියන්න එපා කියලා මම කියනවා."