ජාත්‍යන්තර බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි නාවිකයෙකු හට කොරෝනා වෛරසය ආසාදිතයැයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඉදිරි වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු සඳහා ඔහු ආරක්ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව අද (13) අලුයම් කාලයේදී කටයුතු කරන ලදි.
ලයිබීරියානු සමාගමකට අයත් බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි කරමින් සිටි නාවිකයෙකු හට කොරෝනා වෛරසය ආසාදිතයැයි සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගන්නා ලෙස ආදල නෞකාව වෙත සේවාවන් සපයන දේශීය සමාගම වන MSC ලංකා මගින් කොවිඩ් 19 නිවාරණය කිරීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය වෙතින් ඉල්ලීමක් සිදු කරන ලදි.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෟජු අධීක්ෂණය යටතේ නාවික හමුදාව විසින් වයස අවුරුදු 36 ක් වන සෝලිස් රයන් මාගන් (Solis Ryan Magan) නම් පිලිපීන ජාතිකයෙකු මෙලෙස කොළඹ වරාය වෙත අද (13) ගෙන්වා ගැනීමට කටයුතු කරන ලදි.
මෙහිදී, කොළඹ වරායට මුහුදු සැතපුම් 05ක් පමණ ආසන්නයට පැමිණි එම නෞකාව වෙත ළඟා වූ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් එම රෝගී පුද්ගලයා සියලු සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ගොඩබිමට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලද අතර, පසුව වරාය පරිශ්‍රය තුළදීම පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව සුවසැරිය ගිලන් රථ සේවාව හරහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.
මෙවැනි අවස්ථාවක් ඇති වුවහොත් ඒ සඳහා මුහුණදීම සඳහා නාවික හමුදාව, වරාය අධිකාරිය සහ සුවසැරිය ගිලන් සේවය යන ආයතන ගණනාවක් සමග එකතුවී කොළඹ වරාය පරිශ්‍රය තුළදීම විධිමත් පෙරපුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබූ බැවින් සාර්ථකව මෙම කාර්යය සිදු කිරිමට හැකියාව ලැබුණු අතර, මෙය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ සුවසැරිය ගිලන් සේවයේ නොමද සහයෝගය නාවික හමුදාව වෙත ලබා දෙන ලදි .