ට්‍රෝලර් යාත්‍රාවක් මගින් ජාවාරම් කිරීම සඳහා හෙරොයින් කිලෝ 146 ක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිචෝදනා ලබා මීගමුව පළාත්බද මහාධිකරණයේ විභාගවන නඩුවක විත්තිකරුවන් 17 දෙනෙකු අතරින් වරද පිළිගත් ඉරාන ජාතිකයන් නවදෙනෙකුට සහ පාකිස්තානු ජාතිකයෙකුට මීගමුව මහාධිකරණ විනිසුරු පමිල රත්නායක මහතා අද (23දා) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
මෙම පිරිස ධීවරයන් ලෙස වෙස්වලාගෙන යාත්‍රාවක් මගින් ගාලු මුහුද තීරයේ හික්කඩුව දක්වා හෙරොයින්ද රැගෙන ගමන් කරමින් සිටියදී 2016/03/26 වෙනි දින මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව හා එක්ව අත්අඩංගුවට ගෙන ඇත.ඉතිරි විත්ති කරුවන් හත්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහාධිකරණ විනිසුරු වරයා තවදුරටත් නියෝග කළේය.
ඉරාන ජාතිකයන්ට මෙම නියෝගය ප්‍රකාශ කිරීම සඳහා එම තානාපති කාර්යාලයෙන් භාෂා පරිවර්තකයන්ද අධිකරණයට පැමිණ අදාළ නියෝගය කියවා තේරුම් කර දී ඇත.මනේෂ් වෑවිට,කපිල වෛද්‍යරත්න,ප්‍රශාද් චතුරංග,බුද්ධික ජයකොඩි,යශස් සෝවිස්,යන නීතිඥ මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ යූ.ආර් .ද සිල්වා මහතා ඉරාන ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටියේය.