කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා පසුගිය පෙබරවාරි මාසයේ සිට ඇතැම් විදුලි පාරිභෝගිකයින්හට තම මාසික විදුලි බිල ගෙවීමට නොහැකිව සිටියද, කිසිඳු අයුරකින් නිවාස වලට සපයා ඇති විදුලිය විසන්ධි කිරීමක් නොකරණ ලෙස විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අ මරවීර මහතා ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දුන්නේය.
නොරොච්චෝල ගල් අගුරු තාප බලාගාරයේ සේවක මණ්ඩල විසින් අඛණ්ඩව විදුලිය සපයමින් මහජනතාවට සපයන සේවාවන් ඇගයීම සඳහා අමාත්‍යවරයා එම විදුලි බලාගාරය වෙත ගිය අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.
දැනට අප රටේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 60ක් සපයනු ලබන්නේ නොරොච්චෝල ගල් අගුරු බලාගාරය මගිනි. ඩීසල් විදුලි බලාගාර කිහිපයක් හා සියයට 15ක පමණ ජල විදුලිය උත්පාදනය මගින් සෙසු විදුලිබල අවශ්‍යතා සම්පුර්ණ කර ඇති අතර පුද්ගලික අංශයේ විදුලිය නිෂ්පාදනය මේ වනවිට මුළුමනින්ම අත් හිටුවා තිබෙන්නේ දෛනික විදුලි අවශ්‍යතාවය සියයට 30කින් පහළ යාම හේතුවෙනි.
එමනිසා රජය විසින් කළින් සැළසුම් කළ පරිදි හදිසි මිල දී ගැනීම් යටතේ විදුලිය මිල දී ගැනීම මේ වනවිට අවශ්‍යතාවක් පැන නොගනින නිසා එසේ හදිසි විදුලිය මිල දී ගැනීමක් කිසිසේත්ම සිදු නොවේ.
එමෙන්ම මේ වනවිට විදුලි බල මණ්ඩලය පාඩු ලබන තත්ත්වයක තිබුණත් මහජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා කටයුතු යොදා තිබේ. පසුගිය පෙබරවාරි මාසයේ සිට තම විදුලි බිල්පත් ගෙවීමට ඇතැම් පාරිභොගිකයින්හට කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා නොහැකි වී ඇතත් ඔවුන්ගේ විදුලිය විසන්ධි කිරීමක් කිසිසේත්ම නොකරන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන් අතර විදුලි බිල්පත් ගෙවීමට ඇති සහන කාලය අප්‍රේල් මස 30 දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර තම වගකීම හරිහැටි දන්නා විදුලි පාරිභොගිකයින් තම මාසික විදුලි බිල මේ වන විට ගෙවන අතර, එසේ කළ නොහැකි අයට මෙම සහන කාලය ලබා දෙන නමුත් කිසිසේත්ම විදුලිය විසන්ධි කිරීමක් දක්වා පියවර නොගන්නා බවත් අමාත්‍යවරයා කීය.
එමෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල වෙනස්වීම් සිදු වුවද, නොරෝච්චෝල ගල් අගුරු බලාගාරය මගින් අඛණ්ඩව විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ගල් අගුරු තොග මෙම වසරේ නොවැම්බර් මාසය දක්වාම පවතී. එමනිසා කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමේ හැකියාව මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලයට සතුව පවතී.
එමෙන්ම නොරොච්චොල ගල් අගුරු බලාගාරයේ තෙවන අදියර කඩිනමින් ආරම්භ කිරීම මගින් තවත් මෙගවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට ඒකතු කිරීම රජයේ අපේක්ෂාව බව කී අමාත්‍යවරයා විදුලි ඒ්කකයක් රුපියල් 10-12ක් වැනි මිලකට මහජනතාවට ලබා දීමට එමගින් හැකියාව ලැබෙන බවත් ප්‍රකාශ කළේය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය මධ්‍යයයේ වුවද නොරොච්චෝල විදුලි බලාගාරය ඇතුළු විදුලි බල ස්ථානවල සේවය කරන මණ්ඩල කරන කැපවීම අගය කරන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.