ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ නවතා තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.
මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන නොවන අතර හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
එසේම මෙම රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ නවතා ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ එතරම් වාහන ප්‍රමාණයක් නැවැත්වීමට ඉඩ කඩ නොමැති වීම හේතුවෙන් මිස එම වාහන ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් නොවන බවද ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්වීමත් සමඟ පසුගිය දින කිහිපයේ කළ දැනුම් දීම පරිදි ජනාධිපති කාර්යාලය වෙත භාර දුන් රථ වාහන 107 ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව නවතා තිබේ.
එසේම විනිවිද බව හා නිරවද්‍යතාවය ආරක්ෂා කිරීම උදෙසා එලෙස එම රථ වාහන වල සම්පූර්ණ ලැයිස්තුවක් ද මේ වන විට සකස් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට අදාළව පසුගියදා ලබා දුන් උපදෙස් පරිදි මෙම රථවාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙයි.