කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ පළමු වරට , ගුවන් තොටුපොළ ව්‍යාපාරික පංතියේ පහසුකම් භාවිතා කර ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ ද්‍රවිඩ ජාතික තරුණයෙකු 09/02 දින රාත්‍රී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු යාපනය, උඩුවිල් ප්‍රදේශයේ පදිංචි, පෞද්ගලික මූල්‍ය සමාගමක ක්ෂේත්‍ර නිලධාරීවරයෙකු ලෙස සේවය කළ 36 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණයෙකි.
ඔහු 09/02 දින රාත්‍රී 06.50 ට දෝහා වෙත පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 217 දරන ගුවන් යානයට පිවිසීම සදහා ඇමෙරිකානු ඩොලර් 60 ක මුදලක් වැය කර , කටුනායක ගුවන් තොටුපොළ " සේද මාවත " (Silk Route ) ව්‍යාපාරික පංතියේ පහසුකම් සහිත විශේෂ පර්යන්තය වෙත පිවිස තිබේ.
එහිදී ආගමන විගමන , රේගු නිලධාරීන් මෙම පර්යන්තය වෙත පැමිණ එම මගීන්ගේ නිශ්කාශන කටයුතු සිදු කිරීම සිදු වේ.
ඒ අනුව මෙම ද්‍රවිඩ ජාතික තරුණයා වෙත පැමිණි ආගමන විගමන නිලධාරීන් ඔහුගේ ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේදී ඇති වූ සැකය මත , ඔහු එම පර්යන්තයෙන් දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත කැදවා ගෙන ගොස් , එහි සේවයේ නිරත නිලධාරීන් වෙත භාර දී තිබේ.
එහිදී එම නිලධාරීන් විසින් සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී මෙම ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය , වෙනත් පුද්ගලයෙකුගේ ජීව දත්ත තොරතුරු සහිත ගමන් බලපත්‍රයකට, මෙම තරුණයාගේ ජායාරූපය ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය වීමත් සමග මොහු අත් අඩංගුවට ගැනීමට එම නිලධාරීන් පියවර ගෙන තිබේ .
ඉන්පසුව මොහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒවා තුළ තවත් කූඨ ලෙස සකස් කළ ඉතාලි ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සකස් කළ ප්‍රංශයේ නේවාසික වීසා බලපත්‍රයක් ද එම නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ .
මොහු එම වීසා බලපත්‍රය මගින් මීට පෙර ප්‍රංශයේ වාසය කර ඇති බවට තොරතුරු ඇතුළත්ව තිබුණ ද , මොහු ප්‍රංශය වෙත කිසි දිනෙක ගොස් නොමැති බව , මේ පිළිබඳ සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබුණි .
එසේම මොහුගේ ගමන් මලු තුළ වූ ඉතාලි ගමන් බලපත්‍රය තුළ මාළදිවයින , ඉතාලිය සහ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු ව්‍යාජ මුද්‍රා රාශියක් යොදා ඇති බව ද අනාවරණය කර ගෙන තිබේ .
මෙම ව්‍යාජ මුද්‍රා අතර ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මෑතකදී හදුන්වා දුන් ආරක්ෂිත මුද්‍රා ද , එම හදුන්වා දීමට පෙර දින යොදා , මොහු තම ගමන් බලපත්‍රය තුළ ව්‍යාජ ලෙස සටහන් කර ගෙන තිබුණි .
ඒ අනුව මෙසේ අත් අඩංගුවට ගත් තරුණයා , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගත් අතර ඔවුන් මොහු 09/03 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .