හුංගම රන්න ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙකු නිවසේ පිටුපස වෙඩි වැදි මියගොස් සිටියදී ඊයේ (09දා) රාත්‍රී සොයාගත් බව හුංගම පොලීසිය පවසයි. මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ තිස්ස පාර,රන්න ලිපිනයේ පදිංචි ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳ සැලක් පවත්වාගෙන ගිය 51 හැවිරිදි සුමුදු නිශ්ශංක ලංකාමුල්ල නමැති එක් දරු පියෙකි.
මියගිය ව්‍යාපාරිකයා රාත්‍රි 10ට පමණ නිවසේ ඉහළ මහලේ සිට බිම් මහලට පැමිණි ඇති අතර, පසුව ඔහු ඉහළ මහළට නොපැමිණීම නිසා නිවැසියන් විසින් සිදු කළ සොයා බැලීමේදී ඔහු වෙඩි වැදී බිම වැටී සිටිනු දැක තිබේ.ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් නිවැසියන් විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැන්වීමෙන් පසු හුංගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ විමර්ශන අරඹා තිබේ.
එහිදී සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ව්‍යාපාරිකයා හා නිවැසියන් අතර එදින රාත්‍රියේ යම් ආරවුලක් සිදුව ඇති බවත්, සිද්ධිය වූ දින රාත්‍රි 11.15ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයටද ඒ බව දන්වා ඇති බවත්ය.දෙවැනි වරට නිවැසියෙකුගෙන් පොලිස් හදිසි ඇමතුම් අංකයට යළි ඇමතුමක් ලැබී ඇත්තේ රාත්‍රි 11.45ට පමණය.මෙතෙක් සිදු කළ මූලික විමර්ශනවලදී පිටතින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ව්‍යාපාරිකයා ඝාතනය කර ඇති බවට සාක්ෂි අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳව තංගල්ල අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන්ද පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇත.
ව්‍යාපාරිකයා හා බිරිඳ අතර ඇති වූ අරවුලක් හේතුවෙන් ව්‍යාපාරිකයා සිය දිවි නසා ගන්නට ඇති බවට පොලීසිය සැක කරයි. මියගිය ව්‍යාපාරීකයා වැටී සිටි ස්ථානයේ තිබී ඔහුගේ ගිනි අවියද පොලීසිය විසින් සොයාගෙන තිබේ. අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කළ අතර අධිකරණ විශේෂඥ වෛද්‍ය වරයාද පැමිණ සිද්ධිය වූ ස්ථානය පරික්ෂා කර තිබේ. මියගිය පුද්ගලයාගේ සිරුර තංගල්ල මූලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා හුංගම පොලිස් ස්ථානාධිපති වරයාට නියම කළේය.
සිද්ධිය පිළිබඳව තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි හුංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත සම්පත් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන පවත්වති.
සූරියවැව- නුවන් ජයසේකර/මුල්කිරිගල - හඳුගල ගුණරත්න/බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ