වසරකට සංචාරකයින් මිලියන 4ක් මෙරටට ගෙන්වා ගැනීම සදහා ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, එමගින් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම සඳහා සංචාරක කර්මාන්තයෙන් දායකත්වය ලබාගත හැකි බවත් ජාතික ජනබලවේගයේ නායක, එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු සඳහන් කළේ ඒ සඳහා පළමුවෙන්ම මෙරටට ගුවන්තොටුපළ පුළුල් හා කාර්යක්ෂම කළ යුතු බවයි.
දිසානායක මහතා මෙම අදහස් පළ කළේ මොනාක් ඉම්පීරියල් උත්සව ශාලාවේ පැවති සංචාරක ක්ෂේත්රයේ වෘත්තීය සමුළුව අමතමිනි. එහිදී සංචාරක ප්‍රතිපත්තිය එළිදැක්වීම ද සිදු විය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙසේද කීය.
“අපි තෝරාගෙන තිබෙන අනෙක් ක්ෂේත්රවලට යම් ආරම්භයක්, යම් කාර්ය භාරයක් , යම් කාලයක් තිබෙනවා. නමුත් අපි මේ පත්ව සිටින ආර්ථික වශයෙන් කඩාවැටී තිබෙන අර්බුදය සඳහා ඉක්මන් කෙටි කාලීන විසඳුමක් සොයාගන්නවා නම් අපිට සොයා ගැනීමේ මාවත තිබෙන්නේ සංචාරක කර්මාන්තයෙන්. අපේ රට මුහුණ දීලා තියෙනවා ප්‍රශ්න දෙකකට. එකක් අපි මේ රටට අවශ්‍ය ඩොලර් ටික වාර්ෂිකව උපයන්න සමත් වී නැහැ.
දෙවැනි එක වසරකට රජයට වියදම් කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය රජයට ලැබෙන්නෙ නෑ. මේ දෙක විසින් තමයි මේ අර්බුදය තීව්ර කරලා තියෙන්නේ. අපිට දිගු කාලීන, ස්ථිර ආර්ථික සැලැස්මක් අවශ්‍යයි. අපි කොහොම ද වසරකට අවශ්‍ය ඩොලර් ටික හා රුපියල් ටික උපයන්නේ කියන එකට අපි අවධානය යොමු කළ යුතුයි. එයින් සංචාරක කර්මාන්තය එහි ප්රබලතම පංගුකරුවෙක් කළ හැකියි කියන විශ්වාසය අපිට තියෙනවා.
දෙවැනි එක කොළඹ කේන්ද්‍ර කරගත් ආර්ථිකයකට අපි හිරවෙලා තියෙනවා. ලෝකයේ බොහෝ රටවල් මුහුණ දීපු, එහෙත් අපි මුහුණ නොදීපු අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදය තමයි නාගරික ජනාවාසකරණය. අපි චෙන්නායි ගත්තත්, ඩකා ගත්තත්, ෂැංහයි ගත්තත් මේ අර්බුදයට මුහුණ දීලා තියෙනවා.
අපිට අලුත් ආර්ථික උපායමාර්ගයක් ඕන ගමේ ඉන්න කෙනා ගමේ ඉන්න ගමන් එයාගේ ආර්ථික ජීවිතයත් සමාජ ජීවිතයත් උසස් කරන්නේ කොහොම ද කියන එක පිළිබඳව. නොසලකා හැරීම්, අඩු කොට සැලකීම් නැති සමාජීය ජීවිතයක් අවශ්‍යයි. අපේ රටේ ජාතික නිෂ්පාදනයෙන් ආර්ථිකයට සියයට 36ක් දෙන්නේ බස්නාහිර පළාත,සියයට 4යි දෙන්නේ ඌව පළාත, සියයට 5යි දෙන්නේ උතුරුමැද පළාත.
අපිට පේනවා අපේ ආර්ථිකය කොළඹ කේන්ද්‍රකරගනිමින් තියෙන බව. මේක අපිට දැන් අර්බුදයක් වගේ නොපෙනුණත් මේක අනාගතයේ දී අර්බුදයක් නිර්මාණය කරනවා. ඒ නිසා අපිට සැලැස්මක් අවශ්‍යයි ගමේ කෙනා ගමේම තියලා එයාගේ ආර්ථික ජීවිතයත්, සාමාජීය ජීවිතයත් උසස් කරන්නේ කියන කාරණාව සම්බන්ධව. එතනදී කර්මාන්තශාලාවක් ගමට ගෙනියනවට වඩා විභවතාවක් තියෙනවා සංචාරක කර්මාන්තයට. වෙරළ තීරය, ස්වාභාවික පරිසරය, මධ්‍ය කඳුකරය, ඓතිහාසික උරුමයන් ගත්තත් රට පුරා සැලකිය යුතු ලෙස විසිරි තිබෙනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට සංචාරක කර්මාන්තය දායක කරගන්න පුළුවන් .
ශ්‍රී ලංකාව ලෝකයේ පිටිපස්සෙන් ඉන්නේ. එහිත් උතුර රට තුළ පිටිපස්සෙන් ඉන්නේ. අපි මේ රටේ සංවර්ධනයට උතුරත් දායක කරගන්නවා. අපි රජය විදියට අපිට තියෙනවා ටාගට් එකක්. වසරකට මිලියන 4ක ටාගට් එකක්. මේ මිලියන 4 වාර්ෂිකව අපේ ගුවන් තොටුපළෙන් එන්න පටන් ගත්තොත් දැනට තියෙන විදියට අවම පැය 2ක් 3ක් ගුවන් තොටුපළෙන් එළියට එන්න. මේ ඉලක්කයට යන්න නම් අපේ ගුවන්තොටුපළේ වර්ධනයක් ඇති විය යුතුමයි. ඉතා වේගයෙන් මේ ඉලක්කය සාර්ථක කරගන්න නම් අතරමග නතර වී ඇති ගුවන්තොටුපළ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කර අවසන් කරගත යුතුයි. සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් අපි වර්ධනය කරගත යුතුයි”.