පරිසර අමාත්‍යාංශය විසින් අප රටේ ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිෂ්පාදිත එක්වරක් පමණක් භාවිතා කර බැහැර කරන භාණ්ඩ රැසක් භාවිතයෙන් ඉවත්කිරීමට කටයුතු යොදා තිබේ. මෙම භාණ්ඩ සියල්ලම පාරිසරික දූෂණයට වැඩි කිරීමට දැඩි බලපෑමක් එල්ල කරන බහුල වශයෙන් භාවිතා කරන භාණ්ඩයන්ය.
මේ අනුව සැෂේ පැකට්, දිරාපත් නොවන ලන්ච්ෂීට්, ඉඳිආප්ප වට්ටි, ප්ලාස්ටික් හැඳි, ආහාර කළතන, ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්, ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිෂ්පාදිත මල්මාලා , සුළං පුරවන සෙල්ලම් භාණ්ඩ, ප්ලාස්ටික් හැඳි හා බීම බට ඊට ද ඇතුළත් වේ.
දැනට වේවැල්, පිත්තල, මැටි හා ලී කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෙවැනි දේශීයව නිර්මාණය කර ගත හැකි ද්‍රව්‍ය ප්‍රවර්ධන වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇත. ඒ අනුව පරිසර අමාත්‍යාංශය හා වේවැල්, පිත්තල, මැටි හා ලී කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධ ව වැඩ පිළිවෙළක් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
ඊට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හා වේවැල්, පිත්තල, මැටි හා ලී කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී විශේෂයෙන් ස්වාභාවික ද්‍රව්‍ය සපයා ගැනීමේ දී පවතින අපහසුතා සාකච්ඡාවට ලක්විය. ඒ සම්බන්ධව පවතින නීති රීති ලිහිල් කිරීම මෙන්ම එම ස්වාභාවික ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගැනීම සඳහා වේවැල්, හණ, ආදි ශාක වර්ග යළි වගා කිරීම මෙන්ම වළං කර්මාන්තය සඳහා අවශ්‍ය මැටි ලබා ගැනීමේ දී දැනට මා ඔය මැටි නිධියේ ඇති මැටි අවසන් වෙමින් පවතින නිසා ඊට විකල්පයක් වශයෙන් යාන් ඔය නිම්නයේ ඇති දැවැන්ත මැටි නිධිය ප්‍රයෝජනයට ගැනීම කෙරෙහි ද අවධානය යොමු විය.
එමෙන්ම ස්වාභාවික වනාන්තර ආශ්‍රිතව වේවැල් වගා කිරීම හා වනඅලින් ගම්වැදීම පාලනය සඳහා අලි වැටක් ලෙස යොදා ගැනීමට හැකිවන පරිදි හණ ශාක වගා කිරීම සඳහා පරිසර, වනජීවි, වනසංරක්ෂණ අමාත්‍යාංශ සමග ඒකාබද්ධ වැඩ සටහනක් ආරම්භ කිරීමට ද තීරණය විය.
දැනට අපේ රටේ බහුලව භාවිතා කරන ප්ලාස්ටික් හැඳි නිසා සිදුවන පාරිසරික හානිය ගැන අදහස් පළ කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අප රට තුළ මාසයකට ප්ලාස්ටික් හැඳි මිලියන 50ක් වශයෙන් වසරකට ප්ලාස්ටික් හැඳි මිලියන 600ක් භාවිතයෙන් පසු පරිසරයට මුදා හරින බව සඳහන් කළේය. විශේෂයෙන් යෝගට්, අයිස්ක්‍රීම් වැනි ආහාර ගැනීම සඳහා මෙන්ම ආහාර සකස් කරන ආයතන විසින් ද බහුලව ප්ලාස්ටික් හැඳි පාරිභොගිකයින් වෙත නිකුත් කෙරේ. මේවා භාවිතා කරන්නේ එක් වරක් පමණි.
එමෙන්ම ප්ලාස්ටික් බීම බට ද එවැනි ම ප්‍රමාණයක් පරිසරයට මුදා හැරේ. මේ සියල්ල සඳහා විකල්ප නිෂ්පාදන හඳුන්වා දීමට හැකියාවක් ඇත. නමුත් පහසුව සඳහා අනුගමනය කරන නිසා දැවැන්ත පරිසර හානියක් සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.