වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
රංජිත් ආරියරත්න මහතා සම්බන්ධයෙන් ලැබී තිබූ චෝදනා සහ පැමිණිලි සැලකිල්ලට ගෙන ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.
වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ සහ වයඹ පළාතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලනඥයන්ගේ නියෝග සහ ඉල්ලීම් නොසලකා හැරීම සම්බන්ධයෙන් ඔහුට එසේ චෝදනා එල්ලවී ඇත.
මේ ආකාරයේ චෝදනා කිසිවකට ආරියරත්න මහතා සම්බන්ධ නැති බැවින් ඔහු තනතුරෙන් ඉවත් නොකරන ලෙස වයඹ පළාතේ උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් පවා කර තිබූ බවද පැවසේ.
ප්‍රධාන ලේකම් තනතුරෙන් ඉවත් කරන ලද ආරියරත්න මහතා ඒ වෙනුවට කුමන තනතුරකට පත් කළාදැයි යන්න මෙතෙක් ප්‍රකාශවි නැත.
මේ ආකාරයට දිවයිනේ පළාත් සභාවකට පත් කරන ලද ප්‍රධාන ලේකම්වරයෙකු නියමිත සේවා කාලයට පෙර එම තනතුරෙන් ඉවත් කරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.
මෙම ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයද විරෝධය පළ කර ඇති බවද වාර්තාවේ.
ආරියරත්න මහතා ඉවත් කිරීමෙන් පසුව පුරප්පාඩුව පවතින වයඹ පළාත් ප්‍රධාන ලේකම් ධුරය සඳහා මේ සතිය තුළ වෙනත් අයෙකු පත් කිරීමට නියමිත බවද සඳහන් වේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන රංජිත් ආරියරත්න මහතා හිටපු තැපැල්පතිවරයකු , දිස්ත්‍රික් ලේකම්වරයකු හා ගොවිජන සේවා කොමසාරිස්වරයකු ලෙසද කටයුතු කළ අයෙකු වන අතර ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසද සිටි අයෙකි.
මීට සති දෙකකට පමණ ඉහතදී පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වූ රාජ්‍ය නිලධාරීන්ට නැවත පත්වීම් ලබා දීමේදී රංජිත් ආරියරත්න මහතා ඇතුළු වයඹ පළාත් සභාවේ උසස් නිලධාරීන් මාලිමාවට පක්ෂව කටයුතු කරන බවට ඊට සහභාගිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනඥයන්ගෙන් චෝදනා එල්ලවූ අතර මේ හේතුවෙන් ඔහු එම තනතුරෙන් ඉවත් කර වෙනත් අයෙකු පත් කරන ලෙස ඔවුන් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා තිබූ බවද වාර්තා විය.
කෙසේ වුවද රංජිත් ආරියරත්න මහතා වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සමඟ ඉතා සමීපව කටයුතු කළ නිලධාරියෙකු ලෙසද ප්රකටය.
ගීතාංජලී ප්‍රියදර්ශනී