මෙරට ඉතිහාසයේ බලවත්ම රජය වත්මන් රජය යටතේ බිහි වී තිබෙන බවත් වත්මන් රජයට සියලු පාර්ශ්වයන්ගේ බලය ලැබී තිබෙන බැවින් රට යම් කඩා වැටීමකට ලක් වුවහොත් එහි වගකීම රජය බාරගත යුතුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයට තුනෙන් දෙකක බලය මෙන්ම විධායක බලය, පළාත් සභා බලය මෙන්ම ප්‍රාදේශීය සභා බලය තිබුනද වෘත්තිය සමිති බලය නොතිබුන පැවසූ මන්ත්‍රීවරයා වත්මන් රජයට සියලු පාර්ශ්වයන්ගේ බලය තිබෙන බවද පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එම අදහස් පළ කර සිටියේ ඊයේ (23දා) සවස මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
වත්මන් රජය විශාල බලාපොරොත්තුවක් ජනතාවට ලබා දුන් බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා රජය ජනතාවට ලබාදුන් පොරොන්දු ඉෂ්ට කළ යුතුව තිබෙන බවදපැවසීය.
රජය පොල්මුරය එන තුරුත් ලුණු මිදෙන තුරුත් වී අස්වැන්න ලැබෙන තුරුත් දින ගණන් කරමින් සිටින බවත් ඉතිහාසයේ පළමු වතාවට බොරු කියන එක නීතිගත කොට ඇති බවද පැවසීය.
තම නීති උපාධිය පිළිබඳව යම් සැකයක් මතුව ඇත්නම් ඒ පිළිබඳව සොයා බලන ලෙසත් රජයේ ප්රබලයන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ප්‍රශ්න මතුවෙද්දී ඔවුන් ඉල්ලා අස්වෙද්දි එය විපක්ෂය දෙසට හැරවීම සාමාන්‍ය සිද්ධියක් බවද ඒ මහතා අවධාරණය කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳ තීරණය ගෙන ඇත්තේ රජය පත් කළ යම් කමිටුවක්විසින් බවත් එම කමිටුවට පත් කොට ඇති සාමාජිකයන්ගේ නම් දෙස බැලීමේදී ඔවුන්ට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් දැනුමක් තිබෙනවාද යන ප්රශ්නය මතුව තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා එහි වගකීම මෙරට බුද්ධි අංශ මෙන්ම වත්මන් රජය සහ ජනාධිපතිවරයා බාරගත යුතුව තිබෙන බවද පැවසීය.
ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණය දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා සියලු ප්‍රාදේශීය සභාවලට පොහොට්ටුව ලකුණ යටතේ ඉදිරිපත් වන බවත් පළාත් සභා මැතිවරණයට ද ඉදිරියේදී පොහොට්ටුව ලකුණ යටතේ ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවද අවධාරණය කළේය.