නාඋල පොලිස් වසමේ නාඋල බකමූණ මාර්ගයේ මොරගහකන්ද ප්රදේශයේදී නාඋල දෙස සිට බකමූණ දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක් ඉදිරියෙන් ගමන් කල තවත් ලොරි රථයක පිටුපස ගැටීමෙන් අද (11) අළුයම් කාලයේ අනතුරක් සිදුව ඇත. අනතුරින් කුඩා ලොරි රථයේ රියදුරු හා එහි ගමන් ගත් කුඩා දරුවෙකු, පිරිමි පුද්ගලයින් 02 ක් හා කාන්තාවක් බරපතල තුවාල ලබා බකමූණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පිරිමි පුද්ගලයෙකු හා කාන්තාව මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 47 ක් වූ අතර මරණකාරිය වයස අවුරුදු 41 ක් වූ රෝහල් හංදිය, හිඟුරක්ගොඩ ප්රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි.
මෙම පිරිස කෝන්ගහවෙල ප්රදේශයේ පැවති අවමඟුල් උත්සවයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවට සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත. අනතුරින් පසු සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු ලොරි රථය සමඟින් පලාගොස් ඇත.
මෘත ශරීර බකමූණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට නාඋල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.