පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට ලුණු නිෂ්පාදනය පසුගිය වසරේ සහ මේ වසරේ සියයට 40කින් පමණ පහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙරට ලුණු නිෂ්පාදනය අඩු වීම සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
පසුගිය වසරේ සහ මේ වසරේ මෙරට ලුණු නිෂ්පාදනය අඩු වී ඇති බවට ලුණු නිෂ්පාදන සමාගම් විසින් වාර්තාවක් අමාත්‍යාංශයට ලබාදී ඇති බව වාර්තා විය. ඒ සම්බන්ධයෙන් වහාම සොයාබලා ඊට පිළියම් යෙදීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව මේ වනවිට රට තුළ නිෂ්පාදනයේ අඩු වීමක් පවතින අතර ඊට පිළියමක් ලෙස ලුණු ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලුණු සමාගම් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත. අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා විය.කෙසේ වෙතත් ලුණු ආනයනය කිරීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.