2023 වසරේදී අඛණ්ඩ විදුලි සැපයීමක් සඳහා විදුලි ඒකකයක් උත්පාදනය කිරීම වෙනුවෙන් රුපියල් 56.90ක වියදමක් දැරීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
මේ වන විට ඒකකයක් වෙනුවෙන් අයකරන සාමාන්‍ය ගාස්තුව රුපියල් 29.14ක් බවත් එමෙන්ම හිගය රුපියල් බිලියන 423.5ක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
විදුලි බල මණ්ඩලයේ විදුලි බිල් අනුව පාරිභෝගිකයන් 6 709 574ක් සිටින බවද අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
මෙහිදී ඒකක 0-30 අතර පාරිභෝජනය කරන පාරිභෝගිකයන් 1 460 828ක් සිටින බවත් ඔවුන් ඒකකයක් වෙනුවෙන් ගෙවන්නෙ රුපියල් 8ක් බවත්, ඒකක 30 -60 අතර ප්‍රමාණයක් පරිභෝජනය කරන පාරිභෝගිකයන් 1 683 172 ක් සිටින බවත් ඔවුන් ඒකකයක් වෙනුවෙන් ගෙවන්නේ රුපියල් 10ක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
එසේම ඒකක 90 -180 අතර ප්‍රමාණයක් භාවිත කරන පාරිභෝගිකයන් 1 559 131ක් සිටින බවත් ඔවුන් ඒකකයට රුපියල් 50ක් ගෙවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. එසේම ඒකක 180ට වැඩියෙන් භාවිත කරන පාරිභෝගිකයන් 303 928ක් සිටින බවත් ඔවුන් ඒකකයක් වෙනුවෙන් රුපියල් 75ක් අයකරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ අනුව ඒකක අඩුවෙන් භාවිත කරන පහළ ස්ථරය සඳහා විශාල සහනාධාර ලබා දී ඇති බවත් ඒකක වැඩි ප්‍රමාණයක් භාවිත කරන අය ඒකකයක් වෙනුවෙන් වැය වන සාමාන්‍ය පිරිවැයට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවන බවත් ඔවුන් සහනාධාර ලබන අයවෙනුවෙන් කොටසක් වන්දි වශයෙන් ගෙවීම් කර ඇති බවත් අමාත්‍යවරයා පවසයි.
ඉතිරි වන සහනාධාර වෙනුවෙන් භාණ්ඩාගාරය ගෙවීම් කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ අනුව විදුලි ඒකකයක් වෙනුවෙන් වැයවෙතැයි අනුමාන කරන රුපියල් 56.90ක මුදල සෑම පාර්ශවයකගෙන්ම අය කළ යුතු බවත් එම මුදල දැරීමට නොහැකි අඩු ආදායම් ලාභී පවුල් සඳහා රජයෙන් සෘජු සහනාධාරයක් ලබාදීම වැදගත් බව තම පෞද්ගලික අදහස යැයි අමාත්‍යවරයා සඳහන් කරයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_738ee83ecd.jpg)