සිපරොක්සින් (Cefuroxime) ප්‍රතිජීවක එන්නත් මාත්‍ර ලක්ෂ නවයක් මිල දී ගැනීමට අදාළව තරගකාරී ලෙස මිල දී ගැනීම් සිදුනොවීම නිසා රුපියල් ලක්ෂ හයදහස් හත්සියක මුලක් රජයට අහිමි විමේ අවදානමක් ඇති වී තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.
මේ නිසා ඇති වී තිබෙන තත්ත්වය නිවැරදි කිරීමට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා පියවර ගත යුතු බවද එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.මෙම එන්නත් මාත්‍ර මිලදී ගැනීමට තෝරාගෙන සිටින සමාගමට රුපියල් ලක්ෂ දසදහසක මුදලක් ගෙවීමට සිදුවන බවත්, අඩු මිල ගණන් ඉදිරිපත් කර තිබෙන සමාගමක් හරහා මෙම තොගය මිලදී ගැනීමට වැයවන්නේ රුපියල් ලක්ෂ තුන්දහස් තුන්සියක ආසන්න මුදලක් බවත් හෙතෙම සඳහන් කළේය.
අඩු මිල ඉදිරිපත් කරන සැපයුම් කරුවන් ඖෂධ නියාමන අධිකාරියේ ලියා පදිංචි කර ගැනීමේ ප්‍රමාද සිදුවන බවත්, මේ නිසා ඖෂධ තොග ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ටෙන්ඩර් කැඳවීමේදී තරගකාරී මිලකට මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
සමාගම් කිහිපයකට මිල ගණන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබුණහොත් අඩු මිල ගණන් යටතේ ඖෂධ මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන බවත්, එවන් තත්වයක් නොමැති වීම නිසා එක් සමාගමක් හෝ කිහිපයක් ඒකාධිකාරී බලයක් අත්පත් කර ගනිමින් අදාළ කටයුතු සිදුකරන බවත් චමල් සංජීව මහතා සඳහන් කළේය.
මෙම ඖෂධයේ එක් මාත්‍රවක් සඳහා ඩොලර් ශත විසිපහේ සිට ඩොලර් පහ දක්වා මිල ගණන් ඉදිරිපත් කර තිබෙන බවට වාර්තා වන බවත්, අඩු මිල ගණන් ඉදිරිපත් කළ සමාගම් ලියා පදිංචි කර ගැනීමේ ප්‍රමාදය නිසා අඩු මිල ගණන් ඉදිරිපත් කර තිබෙන සමාගම්වලට ඩෙන්ඩර් ක්‍රියාවලියට සම්බන්ධ වීමට නොහැකි වී තිබෙන බවත් හෙතෙම පැවසීය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු සෞඛ්‍ය පරිපාලනයත් , ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය වෙනස් වී ඇති තත්ත්වයක් යටතේ පවා ප්‍රශ්න සහගත ගනුදෙනු සිදුවන්නේ නම් එය ඉතා බරපතළ තත්ත්වයක් බවත්, මේ නිසා ඇති වී තිබෙන තත්ත්වය නිවැරදි කිරීමට වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ලේකම්වරයා පියවර ගත යුතු බවත් ඒ මහතා පැවසීය.