නාගරික සංවර්ධන අධිකාරිය විසින් රාජගිරිය උබේසේකරපුර, අරුණෝදය මාවතේ ඇළ රක්ෂිතයේ අනවසර පදිංචි පවුල් 350ක් සඳහා තට්ටු 20කින් යුත් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර, තට්ටු 02ක් පමණක් සම්පූර්ණ කර තිබියදී, නිවාස යෝජනා ක්‍රමය අතරමග නතර කර ඇති බව සැප්තැම්බර් මස 23වන දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.
ඒ වෙනුවෙන් වැය කරන ලද රුපියල් ලක්ෂ 2960ක වියදම නිෂ්කාර්ය වී ඇති බව එම විගණන වාර්තාව මගින් අනාවරණය කර ඇත. එම විගණන වාර්තාවේ සඳහන් වන පරිදි, මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම රුපියල් ලක්ෂ 19238.5කි.
මෙම නිවාස ව්‍යාපෘතිය 2020 වර්ෂයේ මැයි මස 05 වන දින ආරම්භ කර ඇති අතර, 2023 ඔක්තෝබර් 30 අවසන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබුණි. එහෙත් එම විගණන වාර්තාවේ සඳහන් වන පරිදි කොන්ත්‍රාත්කරුවන් 10දෙනෙකුගේ දුර්වල ක්‍රියාකාරිත්වය සහ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්‍රමාද වීම නිසා 2022 මාර්තු 29 ව්‍යාපෘතිය අතරමග නතර කර ඇත.
මේ වන විට ව්‍යාපෘතියට රුපියල් ලක්ෂ 2960ක මුදලක් වැය කර තිබූ බව විගණනය මගින් හෙළි කර ඇති අතර, මෙම ව්‍යාපෘතියේ මහල් දෙකක් පමණ සාදා නතර කර ඇති අතර, ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව විගණනය මගින් අනාවරණය වේ.