ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් නව බස් රථ 400ක් නුදුරේදීම මිලදී ගන්නා බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා පැවැසීය. ජනපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
"අපගේ බස් රථ තුළින් දෛනිකව සිදු කරන ගමන් වාර 5500ක් හරහා මගීන් ලක්ෂ 12ක් පමණ සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්නවා. ඩිජිටල්කරණ වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් අප ගේ ආදායම ගිලිහී යාම සම්පූර්ණයෙන් නවතා ගැනීමට හැකි බව අපගේ විශ්වාසයයි.
අප පසුගිය වසරේ බස් රථ 400ක් ප්‍රතිසංස්කරණය කර නැවත ධාවනයට එක් කර තිබෙනවා. මේ වසරේත් බස් රථ 400ක් ප්‍රතිසංස්කරණය කෙරෙනවා. ඒ වගේම නව බස්රථ 1000ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව බස් රථ 400ක් කඩිනමින් මිළ දී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතුද ආරම්භ කර තිබෙනවා.
සිසු සැරියට අමතරව පාසැල් සිසුන් මෙන්ම කාර්මික විද්‍යාල සිසුන් සඳහා සහනදායී මිල යටතේ බස් රථ සැපයීම මිසු කරන අතර දෛනිකව සිසු සැරිය සඳහා බස් රථ 811ක් ද ඊට අයත් නොවන පාසැල් සේවාවන් සඳහා බස් රථ 890ක්ද අප විසින් සපයනවා.
පොදු මගී ප්‍රවාහන ක්ෂේත්රයේ නව්‍යකරණය සඳහා විදුලි බස් රථ හඳුන්වා දීම, නවීන තොරතුරු තාක්ෂණය උපයෝගී කර ගනිමින් බස් රථ ඇණියේ මෙහෙයුම් හා කළමනාකරණ කටයුතු කිරීඹ, මගී ජනතාවට තොරතුරු ලබා දෙන සුහුරු ක්‍රමවේද හඳුන්වා දීම මෙන්ම දේශගුණික විපර්යාසයන් සඳහා මුහුණ දීමට සැලසුම් කර ඇති ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට සැලසුම් කර තිබෙනවා.
මේ වන විටත් මාර්ගගත ක්‍රමය ඔස්සේ දුර ගමන් දේවා සඳහා ආසන වෙන් කිරීම, අන්තර් ජාලය ඔස්සේ දුර ගමන් සේවා කාල සටහන් ලබා ගැනීමේ පහසුකම ලබා දී තිබෙනවා. ඉදිරි කාලය තුළ ඩිජිටල්කරණය හරහා තවත් සේවාවන් රැසක් හඳුන්වා දීමට නියමිතයි."