වතු ජනතාව වෙනුවෙන් අපි රජයෙන් ඉල්ලා ඇති කරුණු තුනක් සඳහා ජනාධිපතිවරයා එකඟතාවය පළ කොට ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති නිසා මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලංකා කම්කරු කොංග්‍රසය විදිහට වතු ජනතාවගේ සහාය ලබාදීමට තීරණය කර ඇති බව ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යය ජීවන් තොණ්ඩමන් මහතා ගම්පොළ පුපුරැස්ස ලෙවලන් වතු යායේදී ප්‍රකාශ කළේය.
අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාගේ ඉල්ලීමකට අනුව පුපුරැස්ස ලෙවලන් වතුයායේ නිවාස යෝජනා ක්‍රමයක් නිරීක්ෂණය කිරීම හා අංකෙලි පිටිය ජල යෝජනාව සංවර්ධනය කිරීම වෙනුවෙන් පැවති උත්සවයක් අමතා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නිවාස පනහකින් සමන්විත මෙම වතු නිවාස යෝජනා ක්රමයේ ඉදිකිරීම් මෙයට වසර පහකට පෙර නැවතී ඇති අතර, එය නිරීක්ෂණය කිරීමට හා මෙයට වසර අටකට පෙර නායයෑමේ අවදානමකින් අවතැන්ව ඇති තවත් පවුල් තිහකට නිවාස ඉදිකර දීම වෙනුවෙන් සොයා බැලීමට මෙම අමාත්‍යවරුන් පැමිණ තිබුණි.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,
"වතු ජනතාවගෙ වැටුප් වැඩි කිරීමටත්, ඔවුන්ට නිවාස ලබාදීම හා බිම් කඩක අයිතිය ලබාදෙන ලෙසත් අප රජයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ජනාධිපතිතුමා දැනටමත් වතු ජනතාවගේ දෛනික පඩිය ඉහළ දැමීමටත්, නිවාස ඉදිකර දීමටත් කටයුතු ආරම්භ කර තිබෙනවා.එසේම ඉඩම් ඔප්පු ලබාදීමටත්පොරොන්දු දී තිබෙනවා.ඒ අනුව වතු ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කම් දෙන මෙම ජනාධිපතිවරයාට අපි සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා."
අධිකරණ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න,
"අද වතුකරය තුළ වෘත්තීය සමිති කියලා සමහර අය මේ අය තියාගෙන ඉන්නවා. ඒ වුණාට ඒඅය කරපු දෙයක් නෑ.ඒ අය වෙනුවෙන් වැඩ කරන ජනතාව ගැන බලන්නේ නෑ. අද මේ නිවාස ව්‍යාපෘතිය නැවතිලා අවුරුදු ගණනක් ගියා කවුරුවත් බැලුවේ නෑ. අද තොණ්ඩමන් අමාත්‍යතුමා පොරොන්දු වුණා මෙහි පළවෙනි නිවාස දාසය හදන්න රුපියල් කෝටි දෙකහමාරක් වෙන්කරනවා කියලා.
පසුගිය කාලය පුරාම වතු ජනතාවට නිවාස හදලා දෙනවා කියලා විවිධ අය මේ මිනිස්සු රවට්ටලා තියෙන්නේ. අපි මේ අයට නිවාස හදලා දෙනවා විතරක් නෙවෙයි වතු පාරවල් ටිකත් හදලා දීමට කටයුතු කරනවා."
(ගම්පොළ -සුරංග දිල්හාන්)