(රොයිටර්) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහෙන් කොටසක් ලෙස අර්බුදකාරී ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමට ඉන්දියාව කැපවී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය.
පසුගිය සතියේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණයක් අපේක්ෂා කරන ශ්‍රී ලංකාවට එම වැඩසටහන ඉදිරියට කරගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට ඉන්දියාව දැඩි ලෙස සහාය දෙන බව ඉන්දියාව නිලවශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියකින් දැන්වූ බවයි.
"ශ්‍රී ලංකාව මේ හා සමාන සහතික ලබා ගැනීම සඳහා අනෙකුත් නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සම්බන්ධවෙමින් සිටිනවා" යැයි IMF ප්‍රකාශකයෙක් සඳුදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
"ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රමාණවත් සහතික ලබාගෙන ඉතිරි අවශ්‍යතා සපුරාගත් විගස, ශ්‍රී ලංකාව සඳහා අරමුදල් ආධාර කරන වැඩසටහනක් අනුමැතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කළ හැකියි. එය බොහෝ අවශ්‍ය මූල්‍යකරණයන් සඳහා මාර්ග විවෘත කරනු ඇත." යැයි එම නිවේදනයේ දැක්වෙයි.
දශක හතක් තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට අත්‍යවශ්‍ය වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම ලබාගැනීම වෙනුවෙන් එහි අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිමට නම් ශ්‍රී ලංකාවේ විශාලම ද්විපාර්ශ්වීය ණය හිමියන් වන චීනයේ සහ ඉන්දියාවේ මූල්‍ය සහතික ලංකාවට අවශ්‍ය වෙයි.