ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම උදෙසා ඇමෙරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය මගින් රුපියල් කෝටි 8000ක ප්‍රදානයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
ඉඩම්, ප්‍රවාහන, කෘෂිකර්ම, උසස් අධ්‍යාපන සහ විදුලිබල යන ක්ෂේත්රවල සංවර්ධනය වෙනුවෙන් මෙම ප්රාදානයන් යෙදවීමට යෝජිතය.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් යෝජිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය සමග අවසන් අදියරේ සාකච්ඡා සිදු කරමින් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම කෝටි 8000ක යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ අදාළ ගිවිසුම් ශ්‍රී ලංකා රජය සහ ඇමෙරිකානු එක්සත් ජනපද සහශ්‍ර සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය අතර එළඹෙන දෙසැම්බර් මාසයේදී අත්සන් තැබීමට නියමිතය.
මෙම මූල්‍ය ප්‍රධානයන්ගෙන් යෝජිත සංවර්ධන ව්‍යාපෘතිවලට අනුව අවිස්සාවේල්ල සිට පැල්මඩුල්ල දක්වාත්, බෙරගල සිට වැල්ලවාය දක්වාත් නාවුල සිට දඹුල්ල දක්වා සහ දඹුල්ල සිට තල ගහවැව දක්වා A ශ්‍රේණියේ මාර්ග රැසක් සංවර්ධනය කිරීමට නියමිතය.
මිට අමතරව දිවයින පුරා සමස්ත ප්‍රවාහන පද්ධතියම ආවරණය වන පරිදි රාජ්‍ය සහ පෞද්ගලික අංශය එකාබද්ධව නවීකරණ වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ. මේ අතර කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ ආශ්‍රිතව රථවාහන නියාමන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමද සිදුවේ.
එමෙන්ම ගම්පහ, කෑගල්ල, මාතලේ, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඉඩම් මැනීම, ලියාපදිංචිය සහ තක්සේරු කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
